අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව පාර්ලිමේන්තුවෙන් ලබාදිය යුතුයි-ජනපති

    සැප්තැම්බර් 18, 2018

    සංවර්ධන අරමුණු කරා ගමන් කරන රටක් ලෙස කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව ලබාදිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

    පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට ද බලපාන අතර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ද එම සියලු අංශවල කාර්යක්ෂමතාවය ඉතා වැදගත් බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඇගැයීම් පිළිබඳ ප‍්‍රථම ගෝලීය සමුළුවේ (EvalColombo 2018) සමාරම්භක අවස්ථාවට  ඊයේ (17) පෙරවරුවේ කොළඹ දී එක්වෙමිනි. ශ‍්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රටවල් 70 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙයි.

    එහි සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය සභාවේ කටයුතුවලට පමණක් නොව අනෙකුත් උපදේශන කමිටුවල කටයුතුවලට ද වැදගත්වන අතර එම කමිටුවල කි‍්‍රයාකාරිත්වය රටේ සංවර්ධනයට පුළුල් ලෙස බලපාන බවයි. එබැවින් පාර්ලිමේන්තුවේ වටිනාකම නිරන්තරයෙන් මන්තී‍්‍රවරුන්ගේ ඇගැයීමට ලක්වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණෙන දින ගණන එහි කාර්යක්මතාවය පවත්වාගෙන යාමේ ප‍්‍රධාන සාධකය බව ද කියා සිටියේය.

    අද කාන්තාවන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක පවතින බවට පෙන්වා දෙන වාර්තා අනුව පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය ද ඉහළ නංවා ගැනීමට ඒ තුළ වැඩිපුර කාන්තා නියෝජනයක් සිදුවීමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා පාර්ලිමේන්තුවක කාන්තා නියෝජනය 60‍% මට්ටමකවත් පැවතිය යුතු බව තමා විශ්වාස කරන බව ද කියා සිටියේය.

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අද රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොව හමාරක් වූ මානව සම්පතේ කාර්යක්මතාවය සියයට 30 – 35 ක් පමණක් බව වාර්තා මගින් පෙන්වා දෙන අතර එය කිසිසෙත් සතුටුදායක තත්ත්වයක් නොවන බවයි.

    පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අමතරව සිවිල් සමාජ කි‍්‍රයාකරින්, ඇගැයුම් ප‍්‍රජාවේ සාමාජිකයින් සහ සංවර්ධන කි‍්‍රයාවලියේ හවුල්කරුවන් එක්ව සිටින මෙම සමුළුව අවසන් වන්නේ 19 වැනි බදාදා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ය. මෙම සමුළුවේදී ශ‍්‍රී ලංකාවේ ජාතික ඇගැයුම් ප‍්‍රතිපත්තිය දියත් කිරීම මෙරට ඇගැයුම් පිළිබඳ ඉතිහාසයේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් කෙරේ. ඇගැයුම් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් ඇති රටවල් කිහිපයක් අතරට මේ සමග ශ‍්‍රී ලංකාවත් ඇතුළත් වන අතර, දකුණු ආසියානු කලාපයේ එවන් ප‍්‍රතිපත්තියක් දියත් කළ ප‍්‍රථම රට බවට ද ශ‍්‍රී ලංකාව පත් වේ.

    මෙහි සමාප්ති වැඩසටහන සැප්තැම්බර් 19 වැනි දින ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ පැවැත්වීමට නියමිත අතර එහිදී ඇගැයුම් කි‍්‍රයාවලියේ වැදගත්කම පිළිබඳව ගෝලීය සහ ශ‍්‍රී ලාංකීය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා මණ්ඩප හා සැසි කිහිපයක් පැවැත්වීමට නියමිතය. සංවර්ධන මැදිහත්වීම් පිළිබඳ තක්සේරු කිරීම, දැනුම බෙදා හදා ගැනීම සඳහා ගෝලීය වේදිකාවක් ලබාදීම, සාර්ථකත්වයන් සහ අසාර්ථක වීම් වලින් පාඩම් ඉගෙන ගැනීම ආදිය පිළිබඳ පුළුල් සංවාදයක් ඇති වීම මේ හරහා සිදු වේ. යහපාලනයේ අංගයක් ලෙස සාක්ෂි/සාධක භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වාදීම මෙම සමුළුවෙන් තවදුරටත් අපේක්ෂා කෙරේ.

    ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙනයාමේ දී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ භූමිකාව කෙසේ විය යුතුද යන්න පිළිබඳ දැනුවත්භාවයක් ලබාදීම මෙහි තවත් පැතිකඩකි. මීට සහභාගීවන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඉදිරි අනාගතය සඳහා ඔවුන්ගේ දායකත්වය පිළිබඳ ප‍්‍රතිඥාවක් කොළඹ ප‍්‍රකාශනය හරහා ලබාදීමට කටයුතු කරනු ඇති අතර, රටේ ජාතික ඇගැයුම් ප‍්‍රතිපත්ති/ක‍්‍රමවේද සඳහා ඔවුන් කැපවීම සහ ස්වේච්ඡාවෙන් පොදු විචාරයන් සිදු කිරීම පිළිබඳව ද මෙම ප‍්‍රතිඥාවේ සිදු කෙරේ. අග‍්‍රාමාත්‍ය කාර්යාලය, ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ශ‍්‍රී ලංකා ඇගැයුම් සම්මේලනය යන ආයතනවල මගපෙන්වීමෙන් ඇගැයුම් පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සංසදය සහ ඇගැයුම් පිළබඳ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සංසදය මෙය සංවිධානය කර තිබේ.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, ඇගැයීම පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සංසදයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, ශ‍්‍රී ලංකා ඇගැයීම් සංසදයේ සභාපති මහාචාර්ය සමන් බණ්ඩාර යන මහත්වරුන් ද ඇගැයුම් පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සංසදයේ ප‍්‍රධානින් ඇතුළු නියෝජිතයින් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya