Print this page

ජාතික තිරසර කතිකාව පිළිබඳ කෙටුම්පත තවදුරටත් පෝෂණය කිරීමට විද්වත් අදහස් ලබා ගැනේ

සැප්තැම්බර් 14, 2018

තිරසර දැක්ම කතිකාව මඟින් සියලු අංශයන්හි සංවර්ධනය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කෙරෙන බැවින් ඒ සඳහා සිය උපරිම සහය ලබාදීමට සූදානම් බව විද්වත්හු අවධාරණය කරති.

 

2030 වන විට ශ‍්‍රී ලංකාවට තිරසර සංවර්ධන අරමුණු කරා ළඟා වීමට අවශ්‍ය නායකත්වය ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ යටතේ ශ‍්‍රී ලංකාවේ මතවාද හා හැකියාවන් පිළිබිඹු කරමින් ඉදිරි වසර 12 තුළ රටේ දිගුකාලීන ආර්ථික, සමාජීය හා පාරිසරික අරමුණු නිශ්චය කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීම තිරසර කතිකාව හරහා සිදු කෙරේ.

තිරසර කතිකාව පළමු කෙටුම්පත පසුගියදා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර එම කෙටුම්පත ඉදිරියේ දී පෝෂණය කළයුත්තේ කෙසේ ද යන්න පිළිබඳ, තවදුරටත් විද්වත් අදහස් ලබා ගැනීමේ සාකච්ඡා මාලාවක් පසුගිය දිනවල විශ්වවිද්‍යාල කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් සම්බන්ධකර ගනිමින් පැවැත්වෙන මෙම සාකච්ඡා මාලාව මේ වන විට කොළඹ, කැලණිය, ඌව, සබරගමුව, පේරාදෙණිය සහ විවෘත විශ්වවිද්‍යාලය මෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දී පවත්වා අවසන් කර තිබෙන අතර, එම සියලු සාකච්ඡාවල දී සාරවත් තිරසර කතිකාවක් සඳහා ඉඩහසර විවර කර ගැනීමට අවස්ථාව ලැබීම විශේෂත්වයකි.

තිරසර සංවර්ධනය සඳහා වූ ජනාධිපති විශේෂඥ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවලදී විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් අවධාරණය කළේ විශ්වවිද්‍යාලවලට රජය සවන් දෙන පළමු අවස්ථාව මෙය බවයි. එය ඉතා සාර්ථක ගමනක අඩිතාලම වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ. විවිධ අංශයන් ඔස්සේ තිරසර දැක්ම කි‍්‍රයාත්මක වියයුතු ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කිරීම මෙම සාකච්ඡා මණ්ඩපවලදි සිදු වූ අතර හරස් කැපුම් තේමා පිළිබඳවත්, අධ්‍යාපන ක්ෂේත‍්‍ර පිළිබඳවත් විවිධ ආචාර්යවරුන් අදහස් දැක්වූහ. තිරසර කතිකාව තුළින් සපුරා ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක හා ඒවායේ ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳ සාකච්ඡා පැවැත්වීය. ආර්ථික, සමාජීය, පාරිසරික යන අංශ පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කරන ලදී. මෙම කර්තව්‍යය වෙනුවෙන් පුද්ගලික අංශයේ මෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධානවල ද සහය ලබා ගැනීම සුදුසු බවත් සාකච්ඡා කෙරිණි.

විශ්වවිද්‍යාල මට්ටමින් පැවති සාකච්ඡාවල දී පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව විශේෂ අවධානයක් යොමුවීම විශේෂත්වයකි. තාක්ෂණය, සංචාරක කර්මාන්තය, ජල සංරක්ෂණය මෙන්ම රැකියා ක්ෂේත‍්‍රය පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් වූ අතර කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දායක විය යුත්තේ කෙසේ ද යන්න කරුණු අනාවරණය විය. රටක් වශයෙන් දියුණුවීමට ජාතික තිරසර කතිකාව වැඩසටහන කි‍්‍රයාත්මක විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ජනාධිපති විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ අදහස් දැක්වූහ.

මේ අතර තිරසර දැක්ම අංශය මගින් පවත්වනු ලැබූ ජාතික තිරසර කතිකාවට අනුබද්ධව කි‍්‍රයාත්මකවන සාකච්ඡා මාලාවේ තවත් එක් අදියරක් ලෙස ජනාධිපති නීතිඥවරුන් හා නීතිඥ සංගමය සමග සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

තිරසර දැක්ම කෙරෙන් තිරසර කතිකාවක් සඳහා ප‍්‍රවිෂ්ට වීමේදී රටේ පවත්නා මූලික අංශයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඒවාට ගැළපෙන පරිදි රට තුළ ප‍්‍රතිපත්ති මාලාවක් සකස්කළ යුතු බවත් එහිදී දැනට ශ‍්‍රී ලංකාව තුළ පවතින නීති ප‍්‍රතිපත්ති මාලාව වර්තමානයට ගැළපෙන පරිදි නිර්මාණය වියයුතු බවටත් එහිදී අදහස් ඉදිරිපත් කෙරිණි.

ජනතාවගේ දිළිඳුකම පිටු දකිමින් ඔවුන් සංවර්ධනය කිරීමට කි‍්‍රයාමර්ග සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු වූහ. ශී‍්‍ර ලංකාවේ වෙළෙඳ ප‍්‍රජාව සවිමත් කරමින් දියුණු ආර්ථිකයක් සහිත පරිසර හිතකාමී වටපිටාවක් නිර්මාණය කිරීමට තිරසර දැක්මට හැකියාවක් ඇති බවත් ඒ සඳහා රට තුළ සිදු වන නාස්තිය අඩු කරමින් තිරසර වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතු බවත්, ඒ සඳහා නීතිඥ සංගමයේ සියලුදෙනාගේ සහයෝගය ලබාදීමට සූදානම් බවටත් මෙහිදී සඳහන් කෙරිණි.

මෙම සාකච්ඡාමය වැඩසටහන සියලු ක්ෂේත‍්‍ර ආවරණය කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක වන තිරසර දැක්ම අංශය බලාපොරොත්තු වෙයි.