අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පිටරටින් ගෙන්වීම වහාම නතර කළයුතුයි

    සැප්තැම්බර් 11, 2018

    රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (10) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී හම්බන්තොට ගොවි ජනතාව සමඟ පැවති හමුවකදී ය.

    ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමට දීපව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන මෙලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

    ගිං – නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ එම ව්‍යාපෘතියේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක‍්‍රමිකතාවයන් පිළිබඳ වත්මන් රජය යටතේ ද නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවනු ඇති බවයි.

    ගිං – නිල්වලා වාරිමාර්ග ව්‍යාපෘතියේ සිදුවූ අක‍්‍රමිකතා පිළිබඳ, මේ වන විට සිදුවන පරීක්ෂණවල පවතින දැඩි ප‍්‍රමාදය සහ මන්දගාමි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹීමට සිදුවනු ඇතැයි සඳහන් කළ ජනාධිපතිතුමා කෙසේ නමුත් ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමේ වගකීම පැවරී ඇති ආණ්ඩුවේ සියලුදෙනා ද සිය දේශපාලන වටිනාකම් ආරක්ෂා කරගෙන කටයුතු කළයුතු බවට තමා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන බව ද කියා සිටියේය.

    හම්බන්තොට සහ මාතර දිස්ති‍්‍රක්කයන්හි සංවර්ධනයේ නව පරිවර්තනයක් සිදුකෙරෙන සහ එම දිස්ති‍්‍රක්කයන්හි ගොවි ජනතාවගේ අපේක්ෂාවක් වූ ගිං නිල්වලා ව්‍යාපෘතිය ඉතා අවශ්‍ය බවට වූ ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පිබිදීමක් ඇති කරමින් ගොවි ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් දැක්වීය.

    ගොවි ජනතාවගේ ගැටලු ඇතුළත් සංදේශයක් ද ජනාධිපතිතුමා වෙත භාර කෙරිණි.

    අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ. ජී. බී. ආරියතිලක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර අම්බලන්තොට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකෙරුණු නව තෙමහල් ගොඩනැඟිල්ල අද (10) පෙරවරුවේ ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ප‍්‍රදේශයේ පරිපාලන කටයුතු වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප‍්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 990 ක වියදමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

    සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    ප‍්‍රදේශයේ ජනතාවට ඉඩම් හිමිකම් පත් ප‍්‍රදානය, ආබාධිතවූවන්ට උපකරණ ප‍්‍රදානය, පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය, හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කෘෂිකර්ම නිලධාරින්ගේ සේවය අගයා තිළිණ ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ද මෙහිදී කි‍්‍රයාත්මක කෙරිණි.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු ප‍්‍රදේශයේ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයින් ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී.කොඩිකාර, හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් එම්. කේ. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya