නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ක‍්‍රමයේ තිබූ දූෂිත තත්ත්වය අවසන් කර නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කිරීමට වත්මන් රජය කටයුතු කළා

    අගෝස්තු 28, 2018

    2015 ජනවාරි 08 වනදාට පෙර මේ රටේ පැවති මැතිවරණ ක‍්‍රමයේ තිබූ ඉතා දූෂිත තත්ත්වයන් අවසන් කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය හරහා මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳ ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වෙන ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට  (27) පෙරවරුවේ එක්වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටේ සියලු මැතිවරණ නිදහස්, සාධාරණ, නිහඬ හා ස්වාධීන මැතිවරණ ලෙස පවත්වා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.

    2015 ජනවාරි 08 වන දාට පෙර රටේ පැවති මැතිවරණ ක‍්‍රමයේ තිබූ ඉතා දූෂිත තත්ත්වයන් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඉතා අශීලාචාර අන්දමින් හැසුරුණු ආකාරය සහ රාජ්‍ය භාණ්ඩාගාරය මැතිවරණ ජයග‍්‍රහණ වෙනුවෙන් භාවිතා කරමින් මහජන දේපළ විනාශ කළ අන්දම ද සිහිපත් කළේය.

    අද ශී‍්‍ර ලංකාව ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමක් තිබෙන රටක් මෙන්ම අධිකරණයේ අපක්ෂපාතිත්වය සහ සාධාරණත්වය ශක්තිමත් කළ රටක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ආසියාතික රටවල නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව අධිකරණයේ අපක්ෂපාතිත්වය පිළිබඳ ඉතා ඉහළ තත්ත්වයකට පැමිණ ඇති බව පෙන්වා දී තිබෙන බව ද සඳහන් කළේය.

    පසුගිය වසර තුන හමාර තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා රජය ගත හැකි සෑම පියවරක්ම ගත් අතර, ජනතාවගේ නිදහස සහ මානව හිමිකම් ශක්තිමත් කිරීම සඳහා ද ගතයුතු සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගත් බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    එමෙන්ම දූෂණයෙන් තොර අපක්ෂපාතී නිදහස් සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට පූර්ණ බලතල ලබාදෙමින් එය ශක්තිමත් කළ බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

    කලාපය තුළ මැතිවරණ පැවැත්වීමේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රවර්ධන හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස ආසියාව තුළ හා ඉන් ඔබ්බෙහි ද කි‍්‍රයාකාරි පාර්ශ්වකරුවන්ට බලපෑම් ඇති කළ හැකි අන්දමේ පොදු එකඟතාවලින් සමන්විත සම්මුතියක් සම්මත කර ගැනීමේ අරමුණින් ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය පැවැත්වෙයි.

    තම කලාපයේ මැතිවරණ මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ පුළුල් සංවාදයක් පැවැත්වීම සඳහා ද මෙකී සම්මේලනය කදිම වේදිකාවක් සපයන අතර මැතිවරණ හා සැබඳි කලාපයේ වඩාත් පුළුල් එකතුවක් ලෙස මෙය සැලකිය හැකිය. මෙවර ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ සිව්වන සම්මේලනය වන අතර දකුණු ආසියාවේ මෙවැනි සමුළුවක් පැවැත්වෙන ප‍්‍රථම අවස්ථාව ද මෙයයි. ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණය සඳහා වන ආසියානු ජාලය එහි සත්කාරකත්වය දරයි.

    “ප‍්‍රශස්ත විනිවිදබවක් හා සුපිළිපන්න බවින් යුත් මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධන හා සුරැකීම සඳහා වූ සාමූහික ප‍්‍රයත්නයක්” තේමාව යටතේ පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 45 ක ආරාධිතයින් එක්ව සිටින අතර පහළොවකට අධික ආසියානු කලාපීය මැතිවරණ කොමිෂන් සභා ද, සියයකටත් වඩා අධික ලොව පුරා කි‍්‍රයාත්මක මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප‍්‍රමාණයක් ද, ශ‍්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල රැසක් ද, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හා එක්සත් ජාතීන් ඇතුළු අන්තර් කලාපීය නියෝජිතායතන රැසක් මේ සඳහා සහභාගී වී සිටි.

    ආසියාවේ දැනට පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වරූපය, කලාපයේ පොදු මැතිවරණ හා සබැඳි අභියෝග හා මැතිවරණ කි‍්‍රයාවලිය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා උපයෝගී කර ගත හැකි විවිධ යහපත් පරිචයන් වැනි තීරණාත්මක සාධක මෙම සම්මේලනයේ දී වඩාත් පුළුල්ව සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතය. සම්මේලනය හෙටින් අවසන් කෙරේ.

    “ඩොනමෝර් කොමිසම් සභා ක‍්‍රමයේ සිට මැතිවරණ කොමිසම් සභාව දක්වා” කෘතිය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. නීතිපති ජයන්ත ජයසූරිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය, පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, නිදහස් මාධ්‍ය සංසදයේ ආසියානු ජාලයේ නියෝජිත Damaso Magdualz යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya