නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ ජනතාවගේ උගත්කම නංවාලීමට කටයුතු කළේ මෙරට භික්ෂු පරපුරයි- අග්‍රමාත්‍ය

    අගෝස්තු 21, 2018

    අපේ ජනතාවගේ උගත්කම නංවාලීමට කටයුතු කළේ මෙරට භික්ෂු පරපුරයි. මිහිඳු මහරහතන්වහන්සේගෙන් පසුව අපේ භික්ෂූන් වහන්සේලා ඒ වෙනුවෙන් කටයුතු කළා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත පවසයි.

    ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි ස්වාමීන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවි සන්නස් පත්‍රය පිළිගැන්වීම වෙනුවෙන් කෝට්ටේ රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව-

    මම අගමැතිවරයා හැටියට එදා කටයුතු කළ කාලයේ ගුරු අධ්‍යාපනය සඳහා අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කරන්නට තීරණය කළා. එලෙස ආරම්භ කළ විද්‍යා පීඨ සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරන්නත් අපි උත්සාහ ගත්තා. මෙලෙස අපි අධ්‍යාපන ආයතන ඇතුළු නොයෙකුත් ආයතන රාශියක් ආරම්භ කළත් ඒවා දිගු කලක් රදාපවත්වා ගැනීමට නම් ශක්තිමත් පදනමක් අවශ්‍යයි. එදා අධ්‍යාපන පීඨ ආරම්භ කිරීමත් සමඟ අපිට හොඳ විද්‍යා පීඨාධිපතිවරුන්, නියෝජ්‍ය පීඨාධිපතිවරුන් හා කථිකාචාර්යවරුන් සොයා ගැනීමට අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේදී අපට විශේෂ සහයක් අද අක්තපත්‍ර ලබන පූජ්‍ය දෙදියවල තිලකසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ලබාදුන්නා. උන් වහන්සේගේ මේ වැදගත් උතුම් අවස්ථාවට සහභාගී වීම මගේ යුතුකමක් හා වගකීමක් ලෙස මම කල්පනා කළා.

    එදා එම ආයතන පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කරන වැඩපිළිවෙලට තිලකසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ගේ පූර්ණ සහයෝගය ලැබුණා. බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දැනුම වර්ධනය කිරීමට ආරම්භ කළ ශාරිපුත්‍ර අධ්‍යාපන පීඨයේ නියෝජ්‍ය පීඨාධිපති ලෙස එම ආයතනය පවත්වාගෙන යාමේ වගකීම භාරගනු ලැබුවේ පූජ්‍ය තිලකසිරි අනුනායක හිමියන්. රටේ කලබලකාරී වාතාවරණයක් පැවැති වකවානුවක දී පවා ශාරිපුත්‍ර අධ්‍යාපන පීඨය සාර්ථකව පවත්වාගෙන යාමට එනිසා අපිට හැකියාව ලැබුණා.

    එපමණක් නොව තිලකසිරි අනුනායක හිමියන් එදා ජපන් රජයේ ආධාර යටතේ නිල්වලා විද්‍යා පිඨය අලූතින්ම ආරම්භ කරන්නට පුරෝගාමී වූණා. ඉංග්‍රිසි ගුරුවරුන් පුහුණු කිරීම උදෙසා ඇති කළ පස්යොදුන් විද්‍යාපීඨය සාර්ථකව ක්‍රියාත්මක කරන්නද උන්වහන්සේ වෙහෙසී ක්‍රියා කළා. මෙම කාර්යයන් සඳහා බොහෝ වෙහෙස මහන්සිවී කටයුතු කළ මෑතකදී අභාවප්‍රාප්ත වූ ගුණපාල වික්‍රමරත්න මැතිතුමන්ව ද මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කළ යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව සිහිපත් කරන විට අපේ තිලකසිරි අනුනායක ස්වාමින් වහන්සේ ඉතා වාසනාවන්ත හිමිනමක් බව කිව යුතුයි. උන්වහන්සේට මොල්ලිගොඩ පිරිවෙනේ ලබුගම ලංකානන්ද නාහිමිපාණන් යටතේ කටයුතු කරන්න පවා අවස්ථාව ලැබුණා. ඒ වගේම උන්වහන්සේට කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර යන ලංකාවේ ප්‍රධානතම විශ්වවිද්‍යාලවලින් උපාධි සහ පශ්චාත් උපාධි ලබාගන්න හැකි වුණා. තිලකසිරි අනුනායක හිමියන් අපේ රාජිත සේනාරත්න ඇමතිතුමා සමඟද සමීප ඇසුරක් පැවැත්වූවා. උන්වහන්සේ උගත්, සිල්වත්, බුද්ධිමත් ස්වාමීන්වහන්සේ නමක් බව මා නැවතත් සඳහන් කළ යුතුයි.

    අපේ ජනතාවගේ උගත්කම නංවාලීමට කටයුතු කළේ මෙරට භික්ෂු පරපුර. මිහිඳු මහරහතන් වහන්සේගෙන් පසුව අපේ භික්ෂූන් වහන්සේලා ඒ වෙනුවෙන් කටයුතු කළා. ලංකාවේ පමණක් නොව ඉන්දියාවේත් එලෙස කටයුතු සිදු වුණා. බෞද්ධ ඉතිහාසයට අනුව තක්ෂිලා හා නාලන්දා වැනි පිරිවෙන් ගැන සඳහන් වෙනවා. එම ආයතන එදා උගතුන් බිහි කිරීමෙහිලා ක්‍රියා කළ බව ලෝකයම පිළිගත්ත දෙයක්. තක්ෂිලාව ඒ වනවිට කොයිතරම් දියුණු
    තත්ත්වයක පැවැතුනා ද කියනවා නම් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ඉන්දියාව ආක්‍රමණය කිරීමෙන් පසුව තක්ෂිලාව ප්‍රධාන නගරය කරගෙන රට පාලනය කරන සමයේ සුප්‍රකට ග්‍රීක මතවාදියෙක් ලංකාවට පැමිණියා. ඔහු අපේ සංඝරත්නය සමඟ ද බුදුදහම පිළිබඳ දාර්ශනික කරුණු සාකච්ඡා කළා. ඇලෙක්සැන්ඩර් රජු වැඩි කලක් එරට පාලනය නොකළත් ඒ මතවාදීන් සහ දර්ශනවාදීන් බුදුදහම ග්‍රීසියට ගෙන ගියා. ග්‍රීසියේ වැසියන් ඉන්දියාවේත් උතුරු ඇෆ්ගනිස්ථානයේත් පදිංචිව, අවුරුදු 400-500ක් පමණ කාලයක් තිස්සේ ග්‍රීක බුදුදහම නමින් බෞද්ධ රාජධානියක් පවත්වාගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා. 

    අපේ ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමාට අනුව ආගමික හා නිකාය ප්‍රශ්න කුමක් තිබුණත් අපේ රටේ උගතුන් බිහි කරන්නට මහාවිහාරය, අභයගිරිය හා ජේතවනාරාමය මුල්ව තිබෙනවා. අද අපි මෙරට බෞද්ධාගම ගැන විමර්ෂණය කිරීමේදී විශේෂයෙන්ම සඳහන් කරන ස්ථාන තුනක් තිබෙනවා. එනම් ශ්‍රී පාද ස්ථානය, ශ්‍රී දළදා මාලිගාව, හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. එම පූජ්‍යස්ථානවලට පමණක් සීමා නොවී උගතුන් බිහි කළ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථාන පැවතියේ ශ්‍රී ලංකාවේ බව අප මතක තබා ගතයුතු වෙනවා.

    මමත් විජයදාස රාජපක්ෂ අමැතිතුමාත් පසුගිය දා අනුරාධපුරයේ ආගමික කටයුතු කීපයකට සහභාගී වූ අවස්ථාවේ මහාවිහාරයේ කැනීම් කටයුතු පිළිබඳ සොයා බැලූවා. මහා විහාරයේ කැනීම් කටයුතු මීට ප්‍රථම සිදුකොට තිබුණේ නැහැ. සංස්කෘතික ත්‍රිකෝණයේ වැඩසටහනට අනුව මීට පෙර කැනීම් කටයුතු සිදු කළේ ජේතවනාරාම භඣමිය ආශ්‍රිතව. එහෙත් ඉහත කී මධ්‍යස්ථාන තුන ද ආශ්‍රිතව කැනීම් කටයුතු ආරම්භ කර, ඉන් හෙළිවන කරුණුවලින් ලෝකය දැනුවත් කරන ලෙස මම විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටියා. එතුමා ඊට එකඟ වුණා.


    අපේ ලේඛකාධිකාරී අනුනායක ස්වාමීන් වහන්සේ සඳහන් කළ වැදගත් කාරණයක් කෙරෙහි මේ අවස්ථාවේ මම යමක් කෙටියෙන් සඳහන් කරන්නට කැමැතියි. උන්වහන්සේ භික්ෂු කතිකාවත සම්බන්ධයෙන් අපේ අවදානය යොමු කළා. අපි රජයක් හැටියට බෞද්ධ හෝ වෙනත් ආගමික කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මඟින් මැදිහත් වීමට අපේක්ෂා කරන්නේ නැහැ. මේ රටේ පවත්නා නීතියට අනුව ස්වාධිපත්‍යය තියෙන්නේ ජනතාවට. ව්‍යවස්ථාදායක සහ විධායක බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. අපට ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්න සිදුව තිබෙනවා. විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියට අනුව බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කළ යුතුව තිබෙනවා. මහා සංඝරත්නය පිළිබඳව හෝ වෙනත් ඕනෑම ආගමක පැවිදි පක්ෂය පිලිබඳව පාර්ලිමේන්තුවේ හෝ බහුතරයේ කැමැත්ත අනුව නීති සකස් කරන්නෙ නැහැ. අපේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ මහා සංඝරත්නයේ හෝ වෙනත් පැවිදි පක්ෂයක සම්පූර්ණ කැමැත්තට අනුව කටයුතු කිරීම. එනිසා මේ කරුණු සම්බන්ධයෙන් මහනායක ස්වාමීන් වහන්සේලාගේ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. දේශපාලනික වශයෙන් කිසිදු අවස්ථාවක මේ සම්බන්ධයෙන් මැදිහත් නොවන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා.

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ මම එසේ ආගමික කටයුතුවලට ඇඟිලිගැසීමට බලාපොරොත්තු නොවන බව නැවත වරක් සිහිපත් කරන්නට කැමතියි. පාර්ලිමේන්තුවට හෝ අමාත්‍යවරුන්ට අපි උපදෙස් දී තිබෙන්නේ මහනායක හිමිවරුන් හා කාරක සභාවන් හි කැමැත්තට අනුව වැඩ කරන්න පමණයි.

    අවසාන වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වීමට ආරාධනා කිරීම පිළිබඳව මාගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ කෙටි අදහස් දැක්වීම අවසන් කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya