නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් කොෆි අනන් මැතිතුමා සිදුකළ සේවය අතිවිශිෂ්ටය- අග්‍රාමාත්‍ය

    අගෝස්තු 20, 2018

    එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් කොෆි අනන් මැතිතුමා සිදුකළ සේවය අතිවිශිෂ්ටය. තම ජීවිතය ජාතීන්, පුද්ගලයන් සහ ප්‍රජාවන් අතර සාමය ගොඩනැංවීම වෙනුවෙන් කැප කරමින්, සැමට සාධාරණ, යුක්තිගරුක සමාජයක් ඇති කිරීම පිණිසත්, වඩාත් යහපත් ජීවන තත්ත්වයක් උදාකරලීම පිණිසත් සුවිශේෂී සේවාවක් කළ පුද්ගලයෙක් වශයෙන් එක්සත්ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් ගරු කොෆි අනන් මැතිතුමා හැඳින්විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    ප්‍රවෘත්ති නිවේදනය

    තම ජීවිතය ජාතීන්, පුද්ගලයන් සහ ප්‍රජාවන් අතර සාමය ගොඩනැංවීම වෙනුවෙන් කැප කරමින්, සැමට සාධාරණ, යුක්තිගරුක සමාජයක් ඇති කිරීම පිණිසත්, වඩාත් යහපත් ජීවන තත්ත්වයක් උදාකරලීම පිණිසත් සුවිශේෂී සේවාවක් කළ පුද්ගලයෙක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් ගරු කොෆි අනන් මැතිතුමා හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.


    කොෆි අනන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් එම සංවිධානයේ වර්තමාන මහලේකම් ගරු ඇන්ටෝනියෝ ගුටෙරස් මැතිතුමා වෙත ලිපියක් යොමු කරමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ප්‍රඥාසම්පන්න මිනිසකු වූ අනන් මහතාගේ අභීත හඬ සහ මඟපෙන්වීම වඩ වඩාත් අත්‍යවශ්‍ය යුගයක එතුමා අප අතරින් සමුගැනීම බලවත් සංවේගයට කරුණක් බවය. එම ලිපියේ මෙසේ ද සඳහන් ය.


    “2005 දෙසැම්බර් මාසයේ අප රටට බල පෑ සුනාමි ව්‍යසනයේ දී ගරු කොෆි අනන් මැතිතුමා සිදුකළ ශ්‍රී ලංකා සංචාරය මේ මොහොතේ මහත් කෘතවේදීව සිහිපත් කරමි. එදා මෙරට විපතට පත්ව සිත්තැවුලෙන් පසු වූ ජනතාව, එතුමාගේ දයානුකම්පාව, සංවේදී බව සහ සන්සුන් විලාසයෙන් මහත් අස්වැසිල්ලක් ලැබීය. එමෙන්ම එතුමා සිය ජීවිත කාලය පුරා ඉටුකළ මෙහෙවර තුළින් ලොව පුරා සහනය ලැබූ සංඛ්‍යාව අසීමිතය.


    එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එතුමා සිදුකළ සේවය ද අතිවිශිෂ්ටය. සදාකාලික සුබවාදියෙකු ලෙස තමන් හඳුන්වා දුන් එතුමා, තම ජීවිතය ජාතීන්, පුද්ගලයන් සහ ප්‍රජාවන් අතර සාමය ගොඩනැංවීම වෙනුවෙන් කැප කළ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහඟු අරමුණු වන සැමට සාධාරණ, යුක්තිගරුක සමාජයක් ඇති කිරීම පිණිසත්, වඩාත් යහපත් ජීවන තත්ත්වයක් උදාකරලීම පිණිසත් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළේය. එතුමා ප්‍රඥාසම්පන්න මිනිසකු වූයේය. එකී අසහාය නායකයාගේ අභීත හඬ සහ මඟපෙන්වීම වඩ වඩාත් අත්‍යවශ්‍ය යුගයක එතුමා අප අතරින් සමුගැනීම බලවත් සංවේගයට කරුණකි.


    කොෆි අනන් මැතිතුමාගේ දයාවෙන් ස්පර්ෂිත ලොව පුරා බොහෝ හදවත් තුළ එතුමා සදානුස්මරණීය වනු ඇත. එම මතකය, සමස්ත ලෝකවාසී ජනතාව වෙනුවෙන් සාමය, සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ මානව අයිතීන් දිනවීම උදෙසා අඛණ්ඩව අප ගෙන යන අරගලය තවදුරටත් ශක්තිමත් කරමින් වඩා හිතකර ලොවක් බිහිකිරීම උදෙසා යන ගමනට ආශිර්වාදයක් වනවාට සැකයක් නොමැත. එතුමාගේ වියෝව සම්බන්ධයෙන් මාගේ සාතිශය සංවේගය පළකරමි.”


     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya