මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩු දේවස්ථානය රටේ ප්‍රධාන ආගමික සිද්ධස්ථානයක් පමණක් නොව එය රටේ සංහිදියාව ගොඩනගන ප්‍රධානතම ස්ථානයක්

    අගෝස්තු 16, 2018

    මඩු දේවස්ථානය රටේ ප්‍රධාන ආගමික සිද්ධස්ථානයක් පමණක් නොව එය රටේ සංහිදියාව ගොඩනගන ප්‍රධානතම ස්ථානයක්ද වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ (15) දින මරද මඩු දේවස්ථානයේදී පැවසීය.

    යුද්ධය පැවැති කාලයේදීත් රටේ සියලූම දෙනාට මඩු පල්ලියේ පිහිට ආරක්ෂාව ලැබුණු බවත්, සැමවිටම භේදවලින් තොරව ලක්වාසීන් පැමිණෙන සංහිදියාවේ මධ්‍යස්ථානයක් ලෙස මඩු දේවස්ථානය හැදින්විය හැකි බවත් අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.

    ''මඩු දේවස්ථානයේ වාර්ෂික උත්සවයේ අවසන් මංගල්‍යයට රාජ්‍ය නායකයෙක් සහභාගී වූ දෙවැනි අවස්ථාව මෙය බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේය. මීට ප්‍රථම අග්‍රාමාත්‍ය රණසිංහ පේ‍ර්මදාස මහතා මෙම මංගල්‍ය අවස්ථාවට සහභාගී වී තිබේ.

    වික්‍රමසිංහ මහතා සමග, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන් මේ අවස්ථාවට සහභාගී වූහ. පූජාවෙන් අනතුරුව මරද මඩු මෑණියන්ගේ පිළිරුව විදි සංචාරය සඳහා ගෙන යාමට පෙර, අගරදගුරුතුමන් ප්‍රධාන පූජක පක්‍ෂයේ ඉල්ලීම මත අග්‍රාමාත්‍යතුමා රැස්ව සිටි ලක්‍ෂ සංඛ්‍යාත පිරිස ඇමතීය.

    මඩු මාතාව සමරන මෙම උත්සවය ඉතා වැදගත් උත්සවයක්. එය කතෝලික සභාවට පමණක් සීමා වී නැහැ. එය සියලූදෙනා සමරන උත්සවයක් බවට පත්වී තිබෙනවා. මඩු පල්ලිය යනු අද රටේ සියලූම දෙනා පිළිගෙන තිබෙන ආගමික ස්ථානයක්. යුද්ධ කාලයේදීත්, අනෙක් සියලූම අවස්ථාවලදීත් සියලූදෙනාටම මේ ස්ථානයේ සරණ, පිහිට ලැබුණා. අද ඔබ මෙම ස්ථානයට පැමිණ තිබෙන්නේ මඩු මාතාව වෙනුවෙන් යාඥා කරමින් තමන්ගේ බලාපොරොත්තු ප්‍රකාශ කිරීමට සහ දෙවියන් වහන්සේගේ කරුණාව ලබා ගැනීමටයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම සිංහල, ද්‍රවිඩ, ක්‍රිස්තියානි හෝ වෙනත් ඕනෑම ආගමික භක්තිකයින් මෙම ස්ථානයට පැමිණ තිබෙනවා.

    ප්‍රධාන ආගමික විශ්වාසයක් සහිත ස්ථානයක් පමණක් නොව සංහිදියාවේ මධ්‍යස්ථානයක් ලෙසද මෙම මඩු දේවස්ථානය හැදින්විය හැකියි. වසර 30 ක යුද්ධයකින් අප අතර ගැටුම් ඇති වූ අවස්ථා තිබුණා. අපි එකිනෙකා මරා ගත් අවස්ථා තිබුණා. එසේ නම් මෙවැනි උත්සව හරහා අපිට සංහිදියාව ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙවැනි උත්සව දෙකක් මේ මාසයේ තිබෙන බව සිහිපත් කළ යුතුයි. ඉන් එකක් උතුරේ මෙම මඩු දේව මෙහෙයයි. දෙවැන්න දකුණේ කතරගම පෙරහැර සමයයි. උතුරේ සිට ජනතාව කතරගමටත්, දකුණේ සිට ජනතාව උතුරටත් පැමිණෙනවා. එහිදී බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි භේදයක් නැහැ.

    යුද්ධයට මැදිව තිබූ මෙම මඩු පල්ලිය යුද්ධයට මැදි වූ ජනතාවට සරණක් ලබා දුන්නා. ජනතාවගේ විශාල විශ්වාසයක් ඒ කෙරෙහි තිබෙනවා. එසේ නම් දෙවියන් වහන්සේගේ දයාව ඔබ සියළු දෙනාටම ලැබේවා. සෑම ආගමකින්ම පෙන්නුම් කරන්නේ දයාව සහ අනුකම්පාවයි. නමුත් අවාසනාවකට අපේ ඇතැම් අය මෙය අර්ථකථනය කරන ආකාරය වැරැදියි. ඔවුන් දයාව, අනුකම්පාව, වෛරය බවට පත් කර ගන්නවා. අප ඊට ඉඩදිය යුතු නෑ.

    අද අපේ රටේ ක්‍රිස්තු භක්තිකයින්ට තම ආගම ඉගැන්වීම් ඉදිරියට කරගෙන යාමට සහ ආගමික කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය අඩු පාඩුකම් ඉදිරියේදී ලබා දීමට අප කටයුතු කරනවා. ඔබ සියලූ දෙනාගේම එකතුවීමෙන් අපේ ශ්‍රී ලංකාවට දෙවියන් වහන්සේගේ දයාව ලබාදේවා යැයි මම අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya