අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු රියල් ස්ටාර් ජයග‍්‍රාහකයින්ට නව නිවාස හිමිකම්පත්

    අගෝස්තු 14, 2018

    රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ අවසන් වටය සඳහා තේරුණු 35 දෙනා වෙත නව නිවාස හිමිකම් පත් ලබාදීම ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (13) පස්වරුවේ හොරණ මදුරාවල ප‍්‍රබුද්ධගම රණවිරු ගම්මානයේ දී සිදුවිය.

    අදියර පහක් යටතේ ක‍්‍රියාත්මක වූ රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ පස්වන මෙහෙයුමේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට ත්‍යාග ප‍්‍රදානය කළ උළෙලේ දී අවසන් වටය සඳහා තේරුණු 35 දෙනා වෙත නව නිවාස ලබාදෙන බවට ජනාධිපතිතුමා දුන් පොරොන්දුව ඉටු කරමින් මෙම නිවාස ප‍්‍රදානය සිදුවිය.

    ඒ අනුව එම තරගාවලියෙන් ප‍්‍රථමස්ථානය දිනාගත් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු සෙබළ සම්පත් ශ‍්‍රී පලන්සූරිය රණවිරුවා වෙත එම ගම්මානයේ ඉදිකළ රුපියල් මිලියන 20 ක් වටිනා නව දෙමහල් නිවසේ හිමිකම් පත‍්‍රය ජනාධිපතිතුමා විසින් මෙහිදී පිරිනැමිණි.

    අනතුරුව සෙත් පිරිත් මධ්‍යයේ නව නිවස විවෘත කළ ජනාධිපතිතුමා නිවස නිරීක්ෂණය කළේය.
    ජයග‍්‍රහණය කළ සෙසු රණවිරුවන් 34 දෙනාට ද ජනාධිපතිතුමා අතින් හිමිකම් පත‍්‍ර ලබා දුන් අතර ඉඩම් නොමැති රණවිරුවන් වෙනුවෙන් නිවාස 09 ක් මෙහි ඉදිකර ඇති අතර අනෙක් නිවාස එම රණවිරුවන් නියෝජනය කරන විවිධ ප‍්‍රදේශවල ඉදිකර දී තිබේ.

    ඒ අනුව නව නිවාස 21 ක් ශ‍්‍රී ලංකා යුද හමුදාවට ද නිවාස 09 ක් නාවික හමුදාවට සහ නිවාස 05 ක් ගුවන් හමුදා සාමාජිකයින්ට හිමි විය.

    රණවිරු රියල් ස්ටාර් අවසන් වටය නියෝජනය කළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් සනත් පීරිස් මහතාගේ නවතම ගීත ඇතුළත් සීඞී පටය ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.

    මෙම සියලූ නිවාස සඳහා ඩයලොග් ආසියාටා ආයතනය මූල්‍ය අනුග‍්‍රහය දක්වා ඇති අතර ශ‍්‍රම දායකත්වය ත‍්‍රිවිධ හමුදාවෙනි.

    පශ්චාත් යුද සමයේ දී රණවිරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් රටට විවර කරලීමේ අරමුණ සහිතව රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ක‍්‍රියාත්මක කෙරිණි.

    අමාත්‍ය මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු මැති ඇමතිවරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ත‍්‍රිවිධ හමුදාපතිවරු ඇතුඵ ආරක්ෂක අංශ සාමාජිකයින් ද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද ඩයලොග් ආසියාටා සමාගමේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ සුපුන් වීරසිංහ මහතා ඇතුළු අනුග‍්‍රාහක නියෝජිතයින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya