අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණය පිටුදකින, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන විශිෂ්ට දේශපාලන චරිත අද දවසේ ජනතාවගේ අපේක්ෂාවයි

    අගෝස්තු 12, 2018

    දූෂණය පිටුදකින, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන විශිෂ්ට දේශපාලන චරිත අද දවසේ මේ රටේ ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයෙකු වූ අභාවප‍්‍රාප්ත අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතාගේ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට  (10) පස්වරුවේ එක් වෙමිනි.

    දශක ගණනාවක් ශ‍්‍රී ලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ රැදි සිටිමින්, සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් පුළුල් සමාජ මෙහෙවරක් ඉටුකළ ජනතා නායකයෙක් වූ එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතා අනුස්මරණය කරමින් කන්තලේ නගර ශාලා භූමියේ මෙම පිළිරුව ස්ථාපිත කර තිබේ.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා තවදුරටත් ප‍්‍රකාශ කළේ එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන චරිතය අවංක සහ විශිෂ්ට දේශපාලන චරිතයක් බවයි.

    දූෂණයට විරුද්ධව සටන් කළ ගුණවර්ධන මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට කැපවූ නායකයෙකු බව ද ජනාධිපතිතුමා පැවසීය.

    මෙවැනි අවංක විශිෂ්ට දේශපාලන චරිත හෙට දවසේ රටට වඩාත් අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    මේ අතර 2015 ජනවාරි 08 වැනිදා යුග පෙරළිය වෙනුවෙන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ තමා පිටුපස සෙවණැල්ලක් සේ රැදි සිටිමින් එතුමා ලබාදුන් ශක්තියත්, සැමදා තම සමීපතම දේශපාලන මිත‍්‍රයෙකු ලෙස ඉටුකළ භූමිකාවත් ජනාධිපතිතුමා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.

    ති‍්‍රකුණාමල සංවර්ධනය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ වෙනුවෙන් රජය පුළුල් වැඩසටහනක් කි‍්‍රයාවට නංවා තිබෙන බවයි.

    දිස්ති‍්‍රක්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් ජනාධිපති කාර්යාලය හරහා විශේෂ වැඩසටහනක් කි‍්‍රයාවට නැංවූ අතර ඒ යටතේ වැව් විශාල ප‍්‍රමාණයක සංවර්ධන කටයුතු මේ වන විට සිදුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරි සංවර්ධන කටයුතු ද නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින් ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ ජනතාවට සංවර්ධනයේ උපරිම ප‍්‍රතිලාභ සළසා දෙන බව කියා සිටියේය.

    වයඹ මහ ඇලේ ඉදිකිරීම් කටයුතු මෙම 24 වනදා අරඹන බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මේ වන විට සාර්ථකව නිමවෙමින් පවතින මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘති හරහා ද ති‍්‍රකුණාමල නගරයේ ජනතාවගේ පානීය ජල ගැටලුව ඇතුළු කෘෂිකාර්මික ගැටලු රැසකට විසඳුම් හිමිවනු ඇති බව කියා සිටියේය.

    එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතාගේ පිළිරුව නිරාවණය කළ ජනාධිපතිතුමා ඒ වෙත මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීය.

    එමෙන්ම කන්තලේ නගරයට ඉමහත් අඩු පාඩුවක් පැවති නගර ශාලාවක් ද උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකර ජනතා අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    මේ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 83 ක් වන අතර මහල් දෙකකින් සමන්විත නගර ශාලාවේ ඉහළ මහල 1000 කට අසුන්ගත හැකි ශ‍්‍රවණාගාරයකින් සමන්විතය.

    ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ඉදිකළ ප‍්‍රතිආශ‍්‍රැතිකරණ ජල පද්ධති 09 ක් දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පවරාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    දිස්ති‍්‍රක්කයේ උපාධිධාරින් 160 දෙනෙකු වෙත ගුරු පත්වීම් ලබාදීමේ වැඩසටහන යටතේ උපාධිධාරින් පස් දෙනෙකුට සංකේතාත්මකව ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    කන්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගොවින් පස් දෙනෙකු සඳහා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප‍්‍රදානය සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකර රෝහිත බෝගොල්ලාගම, අමාත්‍ය දුමින්ද දිසානායක, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සේරුවිල ආසන සංවිධායක නලින් ගුණවර්ධන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ති‍්‍රකුණාමල ආසන සංවිධායිකා ආරියවතී ගලප්පත්ති, අරුණ සිරිසේන යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ති‍්‍රක්කයේ මහජන නියෝජිතයින් රැසක් ද රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙන්ම එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මැතිණිය, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya