නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමිල්නාඩුවේ සිට පැමිණෙන ශ්‍රී ලාංකික සරණාගතයින්ට පහසුකම් සළසනවා

    අගෝස්තු 08, 2018

    තමිල්නාඩු සරණාගත කඳවුරුවල ජීවත් වන සරණාගතයින් 3815 දෙනෙකු මෙරටට පැමිණීමට කැමැත්ත පල කර ඇති බව ඉන්දියානු රජය විසින් දන්වා ඇතැයි ද මව්බිමට පෙරළා පැමිණෙන පුද්ගලයන්හට ස්ථිර ඉඩම්, නිවාස හා අවශ්‍ය ජීවනෝපාය ආධාර,අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    යුද්ධය හේතුවෙන් මෙරටින් පිටත්ව ඉන්දියාවේ කඳවුරුවල ජීවතවන දෙමළ ජනතව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    2010 වසරේ සිට ඉන්දියාවේ සිට සිය කැමැත්තෙන් මෙරටට සරණාගතයින් 9509 දෙනෙක් එක්සත් ජාතින්ගේ සරණාගත සංවිධානයේ (UNHCR) අනුග්‍රහය යටතේ පැමිණ ඇති අතර‚ මෙම සරණාගතයින් සඳහා නොමිලේ ගුවන් ටිකට්පත්ද, පහත සඳහන් දීමනාද ලබාදීමට කටයුතු කොට තිබෙනවා.

     
    සමාජගත කිරීම සඳහා දීමනාව වයස අවුරුදු18ට වැඩි පුද්ගලයෙකු සඳහා රුපියල් 10,000 ක්, සමාජගත කිරීම සඳහා දීමනාව වයස අවුරුදු18ට අඩු පුද්ගලයෙකු සඳහා රුපියල් 7,500 ක්, ප්‍රවාහන දීමනා එක් පුද්ගලයෙකුට රුපියල්2,500 ක්, වෙනත් දීමනා එක් පුද්ගලයෙකුට රුපියල් 5,000 ක්, මෙරටට පැමිණි විගස එක් පවුල් ඒකකයකට රු.5,000.00ක් වශයෙන් දීමනා ලබා දී තිබෙනවා.

     

    එසේම මෙම සරණාගතයින් මෙරටට පැමිණ අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග ලියාපදිංචි විමේදී තාවකාලික නිවාස සඳහා හා මෙවලම් හා උපකරණ සඳහා එක් පවුලකට රුපියල් 28,000 බැගින් ලබා දී තිබෙනවා. එසේම දැනට තමිල්නාඩු සරණාගත කඳවුරු වල ජීවත් වන සරණාගතයින් 3815 දෙනෙකු මෙරටට පැමිණීමට කැමැත්ත පල කර ඇති බව ඉන්දියානු රජය විසින් අපවෙත දන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්‍ය්‍යාලය
    විසින් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සරණාගත පිරිසේ සියලු තොරතුරු ලබා දී තිබෙනවා.


    සරණාගතයින් සතු උපකරණ හා බඩු භාහිරාදිය ඔවුන් සමග මෙරටට ගෙන්වා ගත යුතු හෙයින් මුහුදු මගින් ප්‍රවාහන කටයුතු සූදානම් කිරීමට සිදුවී
    තිබෙනවා. ඉන්දියානු රජය ඒ සඳහා නාවික ප්‍රවාහන පහසුකම් ලබාදීමට මේවන විට එකඟතාවය පළකර තිබෙනවා.

    දැනට තමිල්නාඩුව තුල ජීවත් වන ශ්‍රී ලාංකික සරණාගතයින් හා ඔවුන්හට ඉන්දියාවේදී උපන් දරුවන්ගේ උප්පැන්න සහතික, පුරවැසි සහතික, ගමන් බලපත්‍ර ආදී ලියකියවිලි මේ වනවිට චෙන්නායි හී පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය
    මහකොමසාරිස් කාර්යාලය හරහා ලබාදෙමින් පවතිනවා.

     
    ඇතැම් පුද්ගලයන්හට Consular Birth Certificate සඳහා වන වියදම දැරීමට අපහසු බැවින්, ඊට අදාලව නිකුත් කරන ලද ගැසට් නිවේදනය සංශෝධනය කර අදාල ගාස්තුවලින් එම පුද්ගලයන් නිදහස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා.

    මව්බිමට පෙරළා පැමිණෙන පුද්ගලයන්හට ස්ථිර ඉඩම්, නිවාස හා අවශ්‍ය ජීවනෝපාය ආධාර, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

     
    මින් පෙර අවස්ථාවකදී, සංක්‍රමණිකයන් වෙනුවෙන් වන ජාත්‍යන්තර සංවිධානය (IOM) මගින් මෙම සරණාගතයින් ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් සහයෝගය ලබාදීමට එකඟවී තිබුනා. ඒ සඳහා ඔස්ට්‍රේලියානු රජය මූල්‍ය
    අනුග්‍රහය ලබාදීමට නියමිතව පැවතුනා. නමුත් මේ වනවිට ඉන්දියානු රජය ප්‍රවාහන පහසුකම් ලබාදිමට එකඟ වී ඇති හෙයින් අදාල ඔස්ට්‍රේලියානු මූල්‍ය අනුග්‍රහය මෙරටට පැමිණීමට නියමිත
    සරණාගතයින් සමාජගත කරවීම වෙනුවෙන් වෙන්කර දෙන ලෙසට නිල ඉල්ලීමක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඔස්ට්‍රේලියානු රජය වෙත ඉදිරිපත් කොට තිබෙනවා.

    සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් ඉදිරි කටයුතු සිදු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. එසේම මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සඳහා ගරු විදේශ කටයුතු අමාත්‍යතුමාගේ නායකත්වය යටතේ, විදේශ කටයුතු අමාත්‍යංශය තුළ, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නියෝජනය වන පරිදි කමිටුවක් පත්කොට තිබෙනවා.

     
    පැවති යුධමය වාතාවරණය හේතුවෙන් මෙරට හැරගොස් සිටින සියලුම ජනතාවට මෙරටට නැවත පැම්ණෙන ලෙස මා මේ අවස්ථාවේදී ආරාධනය කර සිටිනවා. සියලු ජන කොටස් අතර සංහිදියාව ඇති කිරීමට අප රජය සියලු පියවර ගෙන තිබෙන බවත් නැවත පදිංචි කරනු ලබන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමටත් අප රජය ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බව අවසන් වශයෙන් මම කියන්න කැමතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya