ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සදහා වූ පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රථම ප්‍රාදේශීය සමළුවේ දී කතානායකවරයා විසින් මේ බව පවසන ලදී.මහනුවර මහවැලි රීච් හෝටලයේ දී මෙම උත්සවය පැවැත් විණි.
මෙම ඓතිහාසික සමුළුවට සහභාගි වන ඔබ සියළු දෙනා මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නට කැමැතියි.පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ දී අත්දකින්නට සිදු වුණේ අපි කිසිවකු බලාපොරොත්තු නොවූ තත්ත්වයක්. එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුව ඍජුව ම, ඉදිරිපත් වී කටයුතු කළ යුතු බවට පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ සියළුම පක්‍ෂ නායකයින්ගේ අදහස් ඉදිරිපත් වීම නිසා මාර්තු මස 10 වැනි දින මහනුවර ප්‍රදේශයේ උද්ගතව තිබූ තත්ත්වය පිළිබඳ සොයා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ සියළුම පක්‍ෂ නායකයින් සහ නියෝජිතයින් සහිත මණ්ඩලයක් මා සමඟ සංචාරය කරන්නට යෙදුණා.
එම අවස්ථාවේ දී, අපි මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක්කා. මහනුවර බිෂොප්තුමා සමඟ සාකච්ඡා කළා. හින්දු හා මුස්ලිම් ආගමික නායකයන් හමුවී සාකච්ඡා කළා. සිවිල් ප්‍රජාව සමඟත්, ආරක්‍ෂක අංශ සමඟත් සාකච්ඡා කළා. එ් සියළු දෙනා අපට ආශීර්වාද කළා. නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීම පිණිස මෙම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බව සියළු දෙනා ඉල්ලා සිටියා. ඒ අනුව, මේ සම්බන්ධව සාකච්ඡා කරන්නට අපි පසුගිය අප්‍රේල් 19 සහ ජුනි 29 වැනි දෙදින සමුළු දෙකක් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූවා. එම සමුළු ඉතා සාර්ථක වුණා. එම සමුළුවල දී ඉදිරිපත් වූ ඉල්ලීම් හා යෝජනා සළකා බලා, ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන්නට පාර්ලිමේන්තුවේ සියළුම පක්‍ෂ නායකවරුන් ඒකමතිකව එකඟ වුණා.
ඒ අනුව, එම කාරක සභාව සම්බන්ධව මේ මාසය තුළ අපි පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. ඉන් අනතුරුව නිල වශයෙන් කාරක සභාව පත් වෙනවා. නෛතික වශයෙන් මෙම කාරක සභාව ඉතා ශක්තිමත්. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්‍ෂ වාගේම, අපේ රටේ සියළුම ජාතීන්ට, සියළුම ආගම්වලට අයත් ජනතාව මෙම කමිටුව තුළ නියෝජනය වෙනවා. මෙම කමිටුව ඔස්සේ අපි ඉදිරියට යා යුතුයි. මෙම කමිටුවට මහජන අදහස් හා නියෝජනයන් ඉදිරිපත් කිරීමට ද, ඉදිරියේ දී සියළුම පුරවැසියන්ට අවස්ථාව ලැබෙනවා. පසුගිය සමුළුවල දී ඉදිරිපත් වූ තවත් වැදගත් කරුණක් තමයි මෙම කමිටුව ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීමට කටයුතු කළ යුතු බව. ඒ අනුව අද ප්‍රථම ප්‍රාදේශීය සමුළුව මහනුවර දී පැවැත්වීමට කටයුතු සංවිධානය කළා. ඒ සඳහා මහනුවර තෝරා ගන්නට කටයුතු කළේ සුවිශේෂී කරුණු රාශියක් නිසයි.
සෙංකඩගල මහනුවර පුරවරය, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වාසය කරන ඓතිහාසික පුරවරයක් වීම අනෙකුත් සියළුම ආගම්වලට අයත් වැදගත් සිද්ධස්ථාන රැසක් මහනුවර පිහිටා තිබීම. සියළුම ජන වර්ග හා ආගම් නියෝජනය කරන ජන සංයුතියක් මෙම පුරවරයෙහි පිහිටා තිබීම මහනුවර පුරවර්ය සංචාරක වශයෙන් වැදගත් නගරයක් වීම යන කරුණු විශේෂිත කරුණු හැටියට අපි සළකනවා. ඒ වාගේ ම, 2018 මාර්තු මාසයේ සිදුවූ අමිහිරි සිදුවීම් පිළිබඳ මතකය ජන මතකයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වීම. සුවිශේෂි කරුණක් ලෙස ප්‍රධාන වෙනවා. අපේ අරමුණ අපේ අරමුණ සහජීවනය තහවුරු කිරීම තුළින්, සංවර්ධිත, සාමකාමී, දේශයක් අපේ ඉදිරි අනාගත පරපුරට දායාද කිරීමයි. එම නිසා අද සමුළුවට අපි ඉතා වැදගත් තේමාවක් එකතු කර තිබෙනවා. ඒ තමයි “ ජාතික හා ආගමික සංහිඳියාව තුළින් ශ්‍රී ලංකාවේ තිරසාරත්‍වය වෙත“ යන තේමාව. මෙම තේමාව ඉතා වැදගත්. කිසියම් දේශයක ජනතාවගේ තිරසාරත්‍වය සැලසීම සමස්ථ දේශයේ ම, ප්‍රමුඛ අරමුණ විය යුතුයි. ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික, සමාජයීය හා දේශපාලන යනා දී සියළුම ප්‍රවාහයයන්ගේ තිරසාරත්‍වය තුළින් තමයි කිසියම් දේශයක තිරසාරත්‍වය ගොඩනැගෙන්නේ. කිසියම් රටක ජාතික හා ආගමික සංහිඳියාවක් නැති වුණොත් එම දේශයේ තිරසාරත්‍වයක් අපේක්‍ෂා කළ නොහැකියි. එමනිසා සංහිඳියාව රැකගැනීම හා වර්ධනය ඉතා වැදගත් වෙනවා.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සංහිඳියාව ආරක්‍ෂා කිරීම සඳහා මූලික අයිතිවාසිකම් ආරක්‍ෂාවීමත් අත්‍යවශ්‍ය යි. පොදු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම තුළින් සංහිඳියාවට දරුණු බලපෑමක් ඇති කරනවා. ඒ තුළින් රටේ ස්ථවර භාවයට හානි වෙනවා. අපේ රටේ දැනට ඇතිව තිබෙන වර්ජන ක්‍රියාවලිය, දෛනික ජනජීවිතය කඩාකප්පල් කිරීමට පාදක වී තිබෙනවා. එතුළින් මූලික අයිතිවාසිකම් කඩවෙන නිසා සංහිඳියාවට ද, අනිසි බලපෑම් ඇති වෙනවා. මේ ගැනත් අප සිතා බැලිය යුතු බවයි මගේ අදහස. අවසානය අද දින සමුළුවේ න්‍යාය පත්‍රය අනුව ඔබ සියළු දෙනා ඉදිරිපත් කරන අදහස් ඉතා අගය කරනවා. එම කරුණු අපේ ඉදිරි ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම, හුදෙකළා කරුණු මත පදනම් නොවී අපේ මාතෘකාවට අදාලව ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කිරීමට මෙම සමුළුව සාර්ථක වේදිකාවක් කරගන්නා ලෙස ඉල්ලා සිටීමට මම කැමැතියි.
අපේ අනාගත පරපුරට කරදර කම්කටොළු වලින් තොර යහපත් සමාජයක් ලබාදීම අපි සියළු දෙනාගේ වගකීමක්. අපේ අනාගත පරපුරට වඩාත් සාමකාමී දේශයක්, දියුණු දේශයක්, වඩාත් හොඳ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත දේශයක් ලබාදීම සඳහා වාද භේද කිසිවකින් තොරව, අපි සියළු දෙනා කැපවී කටයුතු කිරීම ඉතා අවශ්‍යයි. ඒ සඳහා පක්‍ෂ, පාට, වර්ග, ආගම් ආදී භේද නොතකා කටයුතු කිරීමට අපි සියලු දෙනා අත්වැල් බැඳ ගනිමු. ඔබ සියළු දෙනාටම වඩාත් වාසනාවන්ත කාලයක් ප්‍රාර්ථනා කරන්නට මම මෙය අවස්ථාව කරගන්නවා. .
සහභාගී වූ අය අතර, මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය, නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි ස්වාමින් වහන්සේ, උඩරට අමරපුර නිකායේ මහානායක නුවරඑළියේ චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ ශාසනරතන නායක හිමි, බදුල්ල අගරදගුරුතුමන්, මහනුවර ප්‍රධාන මවුලවිතුමන්, කුරුක්කල්තුමන්, ගරු කථානායක කරු ජයසුරිය මැතිතුමන් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, විපකෂ නායක ආර් සම්බන්ධන් මැතිතුමා, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා , අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, ජෝන් අමරතුංග, රුවන් විජේවර්ධන,ඒ.එච්.එම් ෆවුසි, ඩග්ලස් දේවානන්ද , ලකී ජයවර්ධන, අලි සහීම් මවුලානා, තිලංග සුමතිපාල, ඒ සුමන්තිරම්, රවුෆ් හකීම්, ඩී.එම් ස්වාමිනාදන්,අබ්දුල් හලීම්,තලතා අතුකෝරල, මනෝ ගනේෂන්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු සහ පොලිස්පති පූජිත ජයසුන්දර මැතිතුමා, අමාත්‍යාංශ ලේකම්වරු , නුවර දිසාපතිතුමා ,හමුදා නිලධාරීන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීහු රැසක් වූහ.
සමුළුව ඇමතූ මල්වතු පාර්ශවයේ අනුනායක ධුරන්ධර අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමිපාදයාණන් වහන්සේ:
තුන්වන වටිනා සාකච්ඡාව සෙංකඩගල පුරවරයේ පැවැත්වීම පිළිබදව කෘතඥතාව පළ කරමින්, ප්‍රථම සාකච්ඡාවේ පටන් ඇති කර ගත් තීන්දු තීරණ අනුව සංහිදියාව මහජනතාව අතර සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට මෙය අගය කළ යුතු අවස්ථාවක් බවත්, මුල පටන් අදහස් දක්වමින් සහ සහයෝගය පළ කළ පරිදිම, ඉදිරියටත් මෙය පැවැත්වීම සඳහා දැඩි අදිටනින් කටයුතු කරන බවත් , සංහිඳියා ප්‍රතිපත්තියකින් යුතුව ඈත අතීතයේ සිට මෑත දක්වාම අපි ක්‍රියාත්මක වුනු බව අමතක නොකළ යුතු බවත් පවසා සිටියහ.
විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ අය අවස්ථානුකූල අදහස් ඉදිරිපත් කිරීම, පටු ආකල්ප ඇතුව ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ක්‍රියාදාම, ආවේගකාරී දේශනා සංහිඳියාව නැති වීමට හේතු බවත්, මේ වාගේ බුද්ධිමත්ව, අර්ථවත්ව රාජ්‍ය නිලධාරීන් පොළඹවා ඒ තුලින් ඉදිරියට යා යුතු බව පැවසූහ.
අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමිපාදයාණන් වහන්සේ :
ආශිර්වාදය සමගින් මූල්‍යාතනයක් වශයෙන් දිය හැකි සියලුම සහයෝගය දිය හැකියි.පාසලෙන් පුංචි දරුවාගෙන්ම සංහිදියාව ඇති විය යුතුයි. එහි වගකීම අපි සියලු දෙනාටම පැවරී තිබෙනවා. ජාතික ගීයේ අර්ථය ඒ සංහිදියාව සියයට 100 ක්ම අපි ජයග්‍රහණය කර තිබෙනවා ද කියන ප්‍රශ්නය මතු වෙනවා. ජාතික ගීයේ අදහසට එන්නට මෙවැනි ගමනක් අපි යා යුතු බවත්, හදවතින් බැදීම සංහිදියාවේ ජයග්‍රහණය බවත්, අපි සුළු ජාතිය , අපි මහ ජාතිය වශයෙන් නොබෙදිය යුතු බවත් භෞතිකප වශයෙන් දියුනු වුණත් ආධ්‍යාත්මයට කතා නොකළොත් අපට ගමනක් නැති බවත්, එය ළමා අවධියේ සිටම ආරම්භ කළ යුතු බවත් පැවසූහ.
සුන්දර රාජ් කුරුක්කල් තුමා:
සියළුම ආගමික නායකයන් හා සම්භාවනීය අමුත්තන් පිලිගනිමින් , උපකුලපතිතුමාගේ දේශනයෙන් මතු වුණ කාරණාවලට ප්‍රතිචාර දක්වමින් මෙසේ කියා සිටියේය. පළමු රැස්වීමේදී ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළ බවත්, දෙවෙනි රැස්වීමේදී යම්කිසි මට්ටමකට විසදුමක් ලැබුණු බවත්, තුන්වන රැස්වීමේදී අපේ රට ගොඩනගන්නේ කොහොමද කියායි අපි සාකච්ඡා කරන්නේ.
උපකුලපතිතුමාගේ දේශනයෙන් පසුව අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙමින් කියා සිටියේ මේ හැම ප්‍රශ්නයකටම මුල ඉතා සුළු දෙයක් බව කියා සිටියේය. දේශීය මට්ටමෙන් හා පාර්ලිමේන්තුවේ රැස්වුණු මෙම කමිටුවල මේ අදහස් එළියට අරන් යන්නේ මාධ්‍යයි.
එම්.එම්. මුබාරක් මව්ලවිතුමා
කාලානුරූපිව මෙම රැස්වීම පැවැත්වෙන බවත්, යම් සිද්ධියක් ඇති වුණාට පසුව මෙලෙසින් රැස්වීමක් තබව බවට අදහසක් තිබුණත් කලින් සිටියා වාගේ අපි සියලු දෙනාම එකට ජීවත් වියු යුතු බවත්, රටේ සියලුම ජාතික නායකයන් එක්ව ගොඩ නැගූ මේ රටේ යම් කඩා වැටීමක් තිබෙනවා නම් ඒකට වග කියන්නට ඕනෑ දැන් ජීවත් වන අප බවත් දියා සිටින ලදී. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ අනෙක් ආගම් ගැන විෂයක් පාඩම් පොත්වලට ඇතුලත්ව තිබුණත් දැන් එවැනි තත්ත්වයක් නැති බවත් , මේ නිසා තමයි භේද ඇති වන්නට හේතුව කියලා හිතන බවත්, මේ කමිටුව තුලින් ඉලක්ක කර ඇති ඉලක්කය සාර්ථක වෙන්නට ප්‍රාර්ථනා කරන බවත්, රටේ සියළුම දෙනා වෙතට මෙය යා යුතු බවත් නැතිනම් එහි අර්ථයක් නොමැති බවත් , කොහේ හෝ තිබෙන සුළු දෙයක් ලොකු කර පෙන්වීමට මාධ්‍ය උත්සාහ නොකළ යුතු බවත්, කමිටුවට සමාජයේ හොද නාමයක් තිබෙන අය පත් කළ යුතු බවට යෝජනා කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා:
ලබා දුන් අවස්ථාවට ස්තුතිය පළ කරමින් ඇති කිරීමට යන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිලිබදව මූලික අදහස් දක්වා සිටින ලදී. ජාතික , ආගමික හා සංස්කෘතික හානිවලට පත් පුද්ගලයන්ගේ දුක් ගැනවිලි ගැන සොයා බලා කටයුතු කිරීමට , වෙනත් රටවල දක්නට ඇති පරිදි , ප්‍රශස්ත බලතල - අධිකාරිය, මූල්‍ය ප්‍රතිපාදන සහිත “ජාතීන් සම්බන්ධ ප්‍රතිපත්තියක්” ඇති කිරීමේ යෝජනාවක් කාරක සභාව ඇති කිරීමේ යෝජනාවට ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටින ලදී.
අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා:
ඉතිහාසය පුරාම ලංකාවේ පුරවැසියන් සහජීවනයෙන් ජීවත් වූ අතර, වෙනස්කම් ආරම්භ වූයේ දේශපාලඥයන් විසින් තම ලාභ ප්‍රයෝජන කතා කරන ලද කාර්යයන් නිසා බවත් කියා සිටින ලදී. තමා ද පෞද්ගලිකව විහාරස්ථාන දෙකක දායකත්වය දක්වන බවත්, එලෙසින් බහුතර ජනතාවක් සහජීවනයෙන් ජීවත් විය යුතු බවත්, මිනිසුන් ධර්මය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළ යුතු බවත් සදහන් කරන ලදී.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා:
ශ්‍රී ලංකාව විවිධ ජාතීන් ජීවත් වන විවිධ ආගම් අදහන විවිධත්වයෙන් යුතු රටක් බවත්, ඈත අතීතයේ සිටම පැවැත එන්නේ ඒ විදියට බවත් සදහන් කළේය. භූගෝලීය පිහිටීම, මෝසම් සුළං හමන දිසාව නිසා විවිධත්වය මේ රටට හිමිවෙලා ඇති බවත් , මේ රටේ ජනතාව අතීතයේ කිසිම ගැටුමකින් තොරව ඒ විවිධත්වය තුල ඒකරාශී වෙලා ජීවත් වුනු බවත් , පවසමින් දේශපාලන අතින් ස්ථීරත්වයකට පැමිණීමට නම් ජාතික හා ආගමික එකමුතුකම අනිවාර්යයෙන්ම අවශ්‍ය බවත්, එසේ නැතුව රටකට ලෝකයත් සමග ඉදිරියට යා නොහැකි බවත් පැවසීය.