ජර්මානු ජනරජයේ විදේශ කටයුතු කාර්යාලය සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය එක්ව මෙම තරගය සංවිධානය කරන ලදී.
සමස්ත ලංකා මට්ටමින් ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ අරමුණ වූයේ මෙරට බලශක්ති අරපිරිමැස්මෙන් සහ පුනර්ජනනීය බලශක්ති පරිහරණය සම්බන්ධයෙන් වන නව අදහස් හඳුනාගැනීම සහ ක්‍රියාත්මක කිරීමයි.
2017 වසරේ හරිත බලශක්ති ශුරයා තරගාවලිය සදහා ගෘහ ඒකක, පළාත් පාලන ආයතන, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන සහ සුථ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතන 80 කට වැඩි සංඛ්‍යාවක් සිය යෝජනා ඉදිරිපත් කළහ.
මෙම තරගාවලියේ ජය ලැබූ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට තමන් ඉදිරිපත් කළ පුනර්ජනනීය බලශක්ති යෝජනාවලිය සඳහා රුපියල් මිලියන 10ක් සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික සහයෝගය හිමිවිය. සූර්ය බලය, ජීව වායු සහ බලශක්ති අරපිරිමැස්ම ඉලක්ක කරගත් යෝජනාවක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් ඉදිරිපත් කර තිබුණි.
මේ අතර මෙම තරගාවලියේ දෙවන ස්ථානය හිමිකරගත් දියගල බෝයිස් ටවුන් කණ්ඩායම වෙත සම්මානය සහ රුපියල් මිලියන 2.5 ක් වටිනා තාක්ෂණික උපකරණ පිළිගැන්වීම සහ සහ තෙවන ස්ථානය හිමිකරගත් මඩකලපුව නගර සභාව වෙත සම්මානය සහ රුපියල් මිලියන 1.5 ක් වටිනා උපකරණ පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න, ජර්මානු තානාපති ජෝන් රෝඩ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.