Print this page

“ග‍්‍රාමශක්තියෙන් – ගම හදන ගමන වැඩසටහන” ජනපති ප‍්‍රධානත්වයෙන් පුත්තලමෙන් ඇරඹේ

ජූනි 13, 2018

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත කි‍්‍රයාවට නංවන ලද පුළුල් ජනතා ව්‍යාපාරය වූ ග‍්‍රාමශක්ති ව්‍යාපාරයට සමගාමීව කි‍්‍රයාත්මක වන “ග‍්‍රාමශක්තියෙන් – ගම හදන ගමන” වැඩසටහන අද (13) පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹේ.

ගමේ ජනතාවගේ සංවර්ධන ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබාදීම ගම හදන ගමන වැඩසටහන හරහා සිදු කෙරෙන අතර එහි පළමු වැඩසටහන මෙලෙස පුත්තලම – මහවැව – මැදගොඩ ප‍්‍රදේශයේදී හෙට පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම ආවරණය වන පරිදි ජනතාවගේ නියෝජිතයින් පිරිසක් එකම ස්ථානයකට ගෙන්වා ඔවුන්ගේ සංවර්ධන ගැටලු ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වෙයි. පළාතේ මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරින් ද ඒ සඳහා කැඳවන අතර ඉදිරිපත්වන ජනතා ගැටලු සඳහා එම අවස්ථාවේම විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමා විසින් කටයුතු කරනු ඇත.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත කි‍්‍රයාත්මක වැඩසටහන ඉදිරියේදී සෑම දිස්ති‍්‍රක්කයකම කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

මේ අතර ග‍්‍රාමශක්ති ව්‍යාපාරයේ වයඹ පළාත් මෙහෙයුම් කමිටුව  අද (13) පෙරවරුවේ පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වෙයි. දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම මෙහෙයුම් කමිටුවේදී ග‍්‍රාමශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ කි‍්‍රයාත්මකවන අන්දම සහ එහි ප‍්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් විමසා බැලෙනු ඇත.

රටේ ජනතාවගේ දිළිඳුකම පිටුදැකීමේ ප‍්‍රමුඛ අරමුණ ඇතිව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත 2017 වසරේදී ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරිණි. මෙතක් කි‍්‍රයාවට නංවා තිබෙන දිළිඳුභාවය පිටුදැකීමේ ජනතා ව්‍යාපාර අතරින් ග‍්‍රාමශක්ති ව්‍යාපාරය වෙනස් ව්‍යාපාරයක් බවට පත්වන්නේ එය යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්ව උත්සාහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම නිසාය.

එමෙන්ම එදා මෙදා තුර, දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් සිදු කෙරුණු බොහෝ ව්‍යාපෘති දියත් කෙරුණේ රජය සහ ජනතාව අතර ගනුදෙනුවක් වශයෙනි. එහෙත් ග‍්‍රාමශක්ති ව්‍යාපාරය තුළ පළමු වරට දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයක් සාර්ථක වීමට පෞද්ගලික අංශයේ දායකත්වය විධිමත් පරිදි යොදා ගැනීමට කටයුතු කරයි. එසේ කරනුයේ, ජනතාවගේ නිෂ්පාදනවලට වඩාත් හොඳ සහ ස්ථාවර මිලක් සහ අඛණ්ඩ වෙළෙඳපොළක් සම්පාදනය කිරීම සඳහායි.

ඒ අනුව ඕනෑම කුඩා ව්‍යවසායකයෙකුට තම ව්‍යාපාර දියුණු කර ගැනීමට දැවැන්ත සමාගම් සමග කරට කර කටයුතු කිරීමට මග පෙන්වීම ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් ඉටුකරනු ඇත. ඔවුන්ට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම, දේශීය හා විදේශීය වෙළෙඳපොළ සොයාදීම, ණය සහ ආධාර ලබාදීම ග‍්‍රාමශක්ති ව්‍යාපාරය හරහා සිදු වෙයි. එමඟින් ඔවුන්ගේ ජීවිත නංවාලමින් එම නිෂ්පාදන රටට විදේශීය විනිමය උපයාදෙන මාර්ගයන් බවට පත්වනු ඇත. මෙම අරමුණු ඉටුකර ගැනීමට මෙරට මෙන්ම විදේශයන්හිද ප‍්‍රචලිත පෞද්ගලික සමාගම් සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹිම ද සිදු වෙයි.

හෙට පැවැත්වෙන වයඹ පළාත් මෙහෙයුම් කමිටුවේදී පුත්තලම සහ කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වෙයි.

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි‍්‍රයාත්මක වන නිෂ්පාදන ගම්මාන දෙකක් ද හෙට ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වීමට නියමිත අතර, ඒ අනුව තලවිල ප‍්‍රදේශයේ සහ මොහොට්ටුවාරම නිෂ්පාදන ගම්මානයේ ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.