Print this page

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා- අග්‍රාමාත්‍ය

මැයි 15, 2018

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා.රටේ නිෂ්පාදන, සංචාරක ආදි අංශවලින් මෙම ආයෝජන ආරම්භ කිරීමට අපි සූදානම්. 2020 වන විට එම ආයෝජන සංඛ්‍යාව තවත් වැඩි කිරීමට
අප සූදානම් වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා බඳවාගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී කළ කතාව.

මෙරට වැඩිම ආයෝජන ප්‍රමාණය සහ අපනයන ආදායම වාර්තා කිරීමට හැකි වූයේ 2017 වසරේදී බවත්, මේ තත්ත්වය මින් ඉදිරියට අඛණ්ඩව වර්ධනය වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14)
අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී පැවසීය.


පසුගිය වසරේ දී ඩොලර් මිලියන 1900 ක පුද්ගලික ආයෝජන ලබාගැනීමට හැකි වූ බව පැවසූ ඒ මහතා මෙවැනි ආයෝජනයක් මීට පෙර පෞද්ගලික, සේවා සහ නිෂ්පාදන අංශවලට ලබා ගැනීමට නොහැකි වූ බව සිහිපත් කළේය.


රාජ්‍ය කළමනාකරණ සේවය සඳහා බඳවා ගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ උත්සවයක දී මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී තවදුරටත් මෙසේ ද කීය.


“රජයේ කළමනාකරණ සහකාර සේවයට අද ඔබ සියළු දෙනාම ඇතුළත් වුණා. එම පත්වීම් ලබාගැනීමෙන් අනතුරුව අද සිට ඔබ රජයේ සේවයට ඇතුලත් වෙනවා. ඔබ රජයේ සේවයට ඇතුළත් වනවා යනු ජනතා සේවයට කැපවෙනවා යන්නයි. මෙම අමාත්‍යංශය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලෙස හඳුන්වන්නේත් එම නිසයි. රාජ්‍ය පරිපාලන සේවයෙන් යහපතක් සිදුවන්නේ රටේ ජනතාවටයි. එහි ක්‍රියාත්මක වන්නේ රටේ වත්මන් පාලකයාගේ හෝ ආණ්ඩුවේ පාලනය නොවේ. එය ඇත්ත වශයෙන්ම තිබෙන්නේ ජනතාව වෙනුවෙනුයි. පරිපාලන සේවා මඟින් සිදුවන්නේ ආණ්ඩුව සහ ජනතාව අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමයි. ඔබ වැනි කළමනාකරණ සහකාරවරුන් නොමැතිව එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ නොහැකියි.

එම නිසා එම වැඩකටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාම සඳහා මම ඔබට සුබ පතනවා. බොහෝ දෙනා බලාසිටින්නේ රැකියාවක් ලබාගැනීමටයි. එය රාජ්‍ය සේවයේ රැකියාවක් වනවා නම් ඊට දක්වන්නේ විශාල උනන්දුවක්. අද ඔබට ඒ කාරණා දෙකම ඉටු වී තිබෙනවා. රැකියා නොලැබුණු බොහෝ පිරිසක් තවමත් සිටිනවා. ඔවුන්ගේ ආදායම් තත්ත්වයත් අප ඉහළ දැමිය යුතුයි. සියලූම දෙනාට රජයේ රැකියාවක් ලබාදිය නොහැකියි. අද රටේ බහුතරයක් සේවය කරන්නේ රාජ්‍ය නොවන අංශ තුළයි. ඇමරිකාව වැනි රටවල්වල ජනගහණයෙන් වැඩිම ප්‍රමාණයක් රැකියා කරන්නේ පෞද්ගලික අංශවලයි. ඇමරිකාවේ වැඩිම රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් සේවය කරන්නේ ආරක්‍ෂක අංශයේ පමණයි. චීනය, වියට්නාමය වැනි රටවලත් බහුතරයක් පිරිස රැකියා කරන්නේ පෞද්ගලික අංශයේයි. ඒ තුළින් ඔවුන් විදේශ විනිමය ලබාගනිමින් අපනයන හරහා ආර්ථික වර්ධනය කරගන්නවා.

 

වර්ථමානයේ ශ්‍රී ලංකාවේ තිබෙන රැකියා ප්‍රශ්නය විසඳීමට නම් රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු පිරවිය යුතුයි. ඒ වගේම පුද්ගලික අංශයේ රැකියා ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඒවා අර්ථසාධක අරමුදල් හිමි රැකියා බවට පත්කළ යුතුයි. එමෙන්ම ස්වයං රැකියා, කෘෂි කර්මාන්ත, ධීවර කර්මාන්තය ආදියට අප ආධාර උපකාර කළ යුතුයි. මෙම කටයුතු සාර්ථකව ඉටු කරනවා නම් රැකියා ඇති කරමින් ආර්ථිකය සංවර්ධනය කිරීමට අපට අවස්ථාව හිමිවෙනවා.


2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා. යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ආයෝජනයන් ලැබුනේ නැහැ. එම නිසා රට දියුණුව
කරා ගෙනයාම අපහසු වුණා. 2015 අප බලයට පත් වූ විගස අපට සිදු වුනේ ණය ගෙවීමයි. පුද්ගලික ආයෝජකයන් අපේ රටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ශක්තිය තිබෙනවා නම් පමණයි. 2015 වසරේ ලැබුණු ආදායම ණය ගෙවීමට ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් අද අපේ රටේ ආදායමෙන් ණය ගෙවීමටත් සංවර්ධනය සඳහා මුදල් යෙදවීමටත් හැකියාව ලැබී තිබෙන බව පැවසිය යුතුයි. එය ඉතා අපහසු කටයුත්තක්. විශාල ණය කන්දරාව නිසා සංවර්ධනයට යෙදවීමට තිබෙන මුදල් සීමා වෙනවා. කෙසේ වුවත් පසුගිය වසරේ ඩොලර් මිලියන 1900 ක පුද්ගලික ආයෝජන ලබාගැනීමට අපට හැකි වුණා. එය ආරම්භයක් පමණයි. මීට පෙර මෙවැනි ආයෝජන ශ්‍රී ලංකාවේ නොතිබූ නිසා ඒ පිළිබඳව සතුටට පත්විය හැකියි.


මේ වසරේ මීටත් වඩා ආයෝජන ප්‍රමාණයක් අප බලාපොරොත්තු වෙනවා. රටේ නිෂ්පාදන, සංචාරක ආදි අංශවලින් මෙම ආයෝජන ආරම්භ කිරීමට අපි සූදානම්. 2020 වන විට එම ආයෝජන සංඛ්‍යාව තවත් වැඩි කිරීමට
අප සූදානම් වෙනවා. එවැනි විශාල දියුණුවක් ඉදිරියේ දී ඇති වෙනවා. ඒ අනුව රටේ ආර්ථිකයේ වර්ධනයක්ද අපට ලඟා කර ගත හැකියි. මේ අවස්ථාවේ දී රටේ නියගයක් නැති නිසා කෘෂිකාර්මික අතින් සාමාන්‍ය හෝ වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වෙනවා. ඒ සමගම රටේ මුදල් භාවිතය වැඩි වෙනවා. වී වගා කරන ප්‍රදේශවල පවතින අපහසුකම් පිළිබඳව බොහෝ දෙනා දන්නවා. ඒ ගැටලූ විසදා ගැනීමට නම් ආර්ථිකය
දියුණු විය යුතුයි.

ඩොලර් මිලියන 1900 ක ආයෝජනයක් පුද්ගලික අංශයට, සේවා අංශයට, නිෂ්පාදන අංශයට මීට පෙර ලැබී නැහැ. එසේ නම් වැඩිම ආයෝජනප්‍රමාණයක් අපට ලැබුණේ 2017 වසරේදීයි. වැඩිම අපනයන ආදායම ලැබුණේත් 2017 වසරේදීයි. වැඩිම අපනයන සහ පෞද්ගලික ආයෝජන ලැබුණේ 2017 වසරේ දී බව කිව යුතුයි. 2018 වසරේ දී මේ ප්‍රමාණය තවත් වැඩි වනවා. 2019 වසර වන විට තව තවත් වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

2017 සිට 2020 දක්වා අපේ ආයෝජන වැඩි කරන්නත්, අපනයන වැඩි කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා දැනට හම්බන්තොට හැර ශ්‍රී ලංකා රජය මගින් තවත් වෙළෙඳ කලාප 3 ක් ආරම්භ කරනවා. බිංගිරිය, කලූතර, වැලිගම ප්‍රදේශවල එම වෙළෙඳ කලාප ඉදිවෙනවා ඇති. 1978 වසරේ සිට 1992 වසර දක්වා වෙළෙඳ කලාප 3 ක් ආරම්භ කිරීමට කාලය ගත වුණා. ඉන් පසුව එක් වෙළෙඳ කලාපයක්වත් ආරම්භ කළේ නැහැ. දැන් හම්බන්තොටට අමතරව අප වෙළෙඳ කලාප 3 ක් ආරම්භ කරනවා. මේ වසර දෙක ඇතුළත වෙළෙඳ කලාප 4 ක් ආරම්භ කිරීම අපේ අරමුණයි. මෙම වෙළෙඳ කලාප 4 ට අමතරව සංචාරක කලාප 3 ක් ආරම්භ කරනවා. වෙනත් ප්‍රදේශවලත් සංචාරක ව්‍යාපාර ආරම්භ කරනවා.

 

නව කෘෂිකාර්මික ආයෝජන බිහි වෙනවා. නව රැකියා බිහි කෙරෙන්නේ මෙම ක්ෂේත්‍රවලිනුයි. ඒ සදහා අප පියවර දෙකක් ගෙන තිබෙනවා. පෞද්ගලික අංශයේ වේතනය ද රාජ්‍ය අංශයට සමාන කිරීම අපේ අරමුණයි. පළමු වසර 5 – 6 වන විට ඒ වැටුප වැඩි කිරීමට හැකියාව ලැබේවි. බොහෝ දෙනෙකුට යොවුන් සේනාංක තුළින් පළමු පුහුණුව ලබා දී ඉන් පසුව පෞද්ගලික අංශයට යොමු කොට හොඳ රැකියා ගණනාවක් ලබා දීමට කටයුතු කරනවා.

අද කළමනාකරණ සහකාර සේවයට ඇතුලූ වී හොඳ වේතනයක් ලබාගන්නවා සේම යොවුන් සේනාංකයට ඇතුලූ කර පුහුණුවක් ලබා දීම අපේ අරමුණයි. මේ වන විට ඒ සංවර්ධන යුගය ආරම්භ කර තිබෙනවා. ණය ගෙවීමේ කටයුතු සඳහා වසර දෙකක කාලයක් ගත වුණා. නියඟ, ගංවතුරවලට මුහුණ දුන්නා. නමුත් අපේ ආර්ථික වේගය කඩා වැටුණේ නැහැ. එම නිසා අපට දැන් ඉදිරියට යාමට හැකි වී තිබෙනවා. විශ්වාසයක් ඇතිව, ශක්තියක් ඇතිව ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. ඒ වැඩ කටයුතු තවත් සීඝ්‍ර කිරීමට නම් රජය මේ සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ තවත් වේගවත් කළ යුතුයි. එම වේගවත් ගමන කළමනාකරණ සහකාර සේවයට බැඳෙන ඔබ සියලූ දෙනාට බාරයි.

ඔබ අපට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා නම් දැන් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ තවත් වේගයෙන් ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙනවා. එක් පැත්තකින් රජයේ රැකියා මෙන්ම අනෙක් පැත්තෙන් පෞද්ගලික අංශයේ රැකියා බිහි කරන අතරම ස්වයං රැකියා ක්ෂේත්‍රය දියුණු කොට වැඩි මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනවා.

විශාල ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය ලබාදීමට බැංකුවලට ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩි කර වෙනම සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට අප ක්‍රියා කරනවා. ආයෝජන වැඩි කර පෞද්ගලික අංශයේ රැකියා ලබා දෙනවා. එමෙන්ම ස්වයං රැකියා කරන අයට මුදල් ලබා දෙනවා. ප්‍රාග්ධනය දියුණු කිරීම සඳහා මුදල් යොදවනවා. තේ, රබර්, පොල්, කොකෝවා, කුරුඳු ආදී වගා සඳහා ආධාර ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.


ඒ සමගම කෘෂිභෝග අලෙවි කිරීම සඳහා හර්ෂ ද සිල්වා ඇමැතිතුමා යටතේ තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මෙරට ආදායම සහ රැකියා වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ මේ ක්‍රමවේද තුළිනුයි. ඊට ඔබ සැම එකතු වීම පිළිබඳව අපගේ සුභාශිංසනය පළ කරනවා.”