Print this page

“පොදු අනාගතයක් වෙත” - 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වෙයි

අප්‍රේල් 16, 2018

ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද (16) සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා එක්සත් රාජධානියේ දී පැවැත්වෙයි.

“පොදු අනාගතයක් වෙත” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේදී සෞභාග්‍යය, සුරක්ෂිතබව, සාධාරණත්වය, තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු වනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍යයේ වන අතර දැනට එහි සභාපති ධූරය දරන මෝල්ටාව මෙවර සැසියේදී එම සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතය.

අද සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා සිදු කෙරෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නිල සංචාරය තුළදී බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය වන තේරේසා මේ මහත්මිය හමුවීමට නියමිතය.

මීට අමතරව ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් කිහිප පළක් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මෙම රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට අමතරව ජනාධිපතිතුමා විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය ඇමතීමට නියමිතව තිබෙන අතර, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ද ජනාධිපතිතුමා වෙත ඇරයුම් ලැබී තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකට ද සහභාගීවන ජනාධිපතිතුමා ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද එක්වනු ඇත.