Print this page

යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවන යහපත් සිරිතට, විරිතට ජීවය ලැබෙන සෞභාග්‍යමත් සිංහල හින්දු අළුත් අවුරුද්දක් වේවා!

අප්‍රේල් 14, 2018

තමන්ද සොභාදහමේ කොටසක්මය යන යථාර්ථය අවබෝධ කර ගනිමින් ඒවෙත කෘතවේදීත්වය පලකිරීම සංකේතවත් කරන සූර්ය වන්දනාව බොහෝ ශිෂ්ඨාචාරයන්ට පොදු සුවිශේෂී ලක්ෂණයකි.

විශේෂයෙන්ම කෘෂිකර්මය හා ආගම එකට බද්ධ වූ පෙරදිග ශිෂ්ඨාචාර වැසියන් තමන් ජීවත් වන පරිසරය පිළිබඳව තිබූ අවබෝධය සහ කෘතවේදි හැගීම සමස්ත පරිසර පද්ධතියෙහිම ජීවය බවට පත් වූ සූර්‍යා වන්දනා කිරීම තුලින් ප්‍රකට කරයි.

පොදු අරමුණක් වෙනුවෙන් සමස්ථ ප්‍රජාවම ඒකරාශී කරන ප්‍රජාව සතු සාමුහික බලය අවධිකරන සිංහල හින්දු අළුත් අවුරුදු උළෙල ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය ආගම ජීවනෝපාය පරිසරය හා එකට බැදුණු පුද පිළිවෙතක් මෙන්ම සැනකෙලියක්ද වෙයි. අප සියල්ලෝම සූර්ය දරුවන් ලෙස එකම මූලයකින් පැවත එන්නන් බව පසක් කර දෙමින් අන් සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් යුතුව ජීවිත්වීමේ අභිලාශය සිංහල හින්දු අළුත් අවුරුද්ද තුලින් ජනිත කරයි.

සිංහල හින්දු අළුත් අවුරුද්ද සමඟින් සමාජ ධූරාවලිය,ඥාතීත්වය හා ඒ සමඟ බැදුණු යුතුකම්,වගකීම්,සාරධර්ම යලි සිහිපත් කර දෙමින් සමාජ සංස්ථාවන්හි ප්‍රතිසංවිධානයක් සිදු වන්නේ නව වසරට ශක්ති සම්පන්න නව ආරම්භයක් ගෙන දෙමිනි. ගේ දොර, පරිසරය පිරිසිදු කර නැවුම් වටපිටාවක් සකසා ගැනීම පමණක් නොව පැරණි සිත් බිදීම් අමතක කර පිරිසිදු සිතුවිලි ඇති කර ගනිමින් අනාගතය උදෙසා ශක්තිමත් පදනමක් සකසා ගැනිමට නව වසරේ අරමුණ කරගත යුතුව තිබෙනි. සෑම නිවසකම,ගමකම ඇති වන මෙම සමඟි සම්පන්න නැවුම් ආරම්භය අප මාතෘ භූමියේ ද අත්‍යාවශ්‍ය අපේක්ෂාව බවට පත්ව ඇත.

විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමන්,අග්‍රාමාත්‍යතුමන් සහ රජයේ සියළු පාර්ශවයන් අනෝන්‍යය ගෞරවයෙන් හා අවබෝධයෙන් යුතුව රටතුල ස්ථිරසාර, ශක්තිමත් පාලන යාන්ත්‍රයක් ඇති කිරීම සඳහා එකමුතුව කටයුතු කිරීම රටට සුභවාදී අනාගතයක් පතන සැමගේ පැතුමයි. සකල ශ්‍රී ලාංකාවාසී ජනතාව වෙනුවෙන් එම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවන යහපත් සිරිතට, විරිතට ජීවය ලැබෙන සෞභාග්‍යමත් සිංහල හින්දු අළුත් අවුරුද්දක් වේවායි ! මා ප්‍රාර්ථනා කරමි.

කරු ජයසුරිය
කථානායක
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව