Print this page

විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

සැප්තැම්බර් 13, 2017
(අයවැයෙන් නොවැමිබර් 9 වනදා)
 
2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 3,98,200ක් (තුන් ලක්ෂ අනූ අට දහස් දෙසීයක්) වන අතර එම වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආද‍ායම විදේශීය ප්‍රදානයන් ද ඇතුළුව රුපියල් කෝටි 2,17,500ක් බවට භාණ්ඩාගාරය විසින් ඇස්තමේන්තුකොට ඇත. 
 
මෙම ඇස්තමේන්තුව ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත. 
 
ලබන මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සැප්තැම්බර් මස අවසානය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම්කොට ඇති බවද මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
 
මේ අතර 2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය කතාව නොවැම්බර් මස 09 වැනි දින පැවැත්වෙන අතර  විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි කියවීමේ විවාදය නොවැම්බර් මස 10,11,13,14 සහ 15 යන දිනයන්හීදී පැවැත්වේ. 
 
එහි කාරක සභා විවාදය නොවැම්බර් මස 16 වන දින ආරම්භ වී දෙසැම්බර් මස 9 වන දා දක්වා පැවැත්වීමටත්  විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියැවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 9 වන දින පස්වරුවේදී සිදු කිරීමටත් නියමිතය.