Print this page

වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂයට නව රක්ෂණාවරණයක් දීම ගැන අවධානය යොමු වෙයි

සැප්තැම්බර් 12, 2017

සියලුම වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂය වෙත නව රක්ෂණාවරණයක් ලබාදීම පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය අද (12) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර, එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව ජනාධිපතිතුමා මේ පිළිබඳව අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

ධර්මාචාර්ය විභාගය සමත්වූවන්ට පත්වීම් ලබාදීම සහ බෞද්ධාගම පිළිබඳව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙරටට පැමිණෙන විදේශීය භික්ෂූන් වහන්සේලා වෙත සහන ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ජාතික සංහිඳියාව ප‍්‍රවර්ධනය වන ආකාරයෙන් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබඳව සොයා බැලිමට ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ භික්ෂුන් වහන්සේලා ප‍්‍රමුඛ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

දැනට විහාරස්ථාන ආශි‍්‍රතව පවතින පෞරාණික පුස්කොල පොත් සංරක්ෂණය වෙනුවෙන් ගෙන යන වැඩපිළවෙළ පිළිබඳව ද අවධානය යොමු විය.

ජනාධිපතිතුමාගේ අනුමැතිය පරිදි පිරිවෙන් සඳහා ඩෙස් බංකු කට්ටල 10,000 ක් පිරිනැමීම සඳහා ජනාධිපති කාර්යාලය හරහා කි‍්‍රයාත්මක කළ වැඩසටහනේ ප‍්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් කරුණු විමසීය.

මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන්වහන්සේ, මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ජාතික බුද්ධ මණ්ඩලය නියෝජනය කරන මහා සංඝරත්නය ද බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.