Print this page

නීතිය ඉගෙනීමට වැඩි අවස්ථා ඇති කිරීමට නව යෝජනා මාලාවක්

සැප්තැම්බර් 12, 2017
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සිදුකර තිබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනයට ඇති අවස්ථා වැඩි කිරීම සහ නීති අධ්‍යාපනයේ අනාගත ප‍්‍රවර්ධනය උදෙසා ගතහැකි ක‍්‍රියාමාර්ග ඇතුළත් නව යෝජනා මාලාවක් පසුගිය දා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී එළි දක්වන ලදී. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් සිදුකළ පර්යේෂණාත්මක අධ්‍යයනයකින් පසුව මෙම යෝජනා මාලාව ඉදිරිපත් කර තිබුණි. 
 
වර්තමාන ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්‍ෂව සිටිය යුතු නීතිඥවරුන් සංඛ්‍යාව අවම මට්ටමක පවතින අතර නීති අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම තුළින් බිහිවන නීතිඥයන් හරහා ශ්‍රී ලංකාවේ නීති සේවාවන්ගේ අවශ්‍යතාව ඉතා හොදින් සපුරාගත හැකිවන අතරම නීතිය පිළිබඳ ව දැනුවත් නීතිගරුක සමාජයකට පදනමක් ද බිහිවනු ඇත.
 
වර්තමානයේ විශ්වවිද්‍යාල නීති පාඨමාලා සඳහා තෝරා ගැනීමේ දී අවශ්‍ය කඩයිම් ලකුණු ප‍්‍රමාණය ඉතා ඉහළ වීමත් ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුළද නීති අධ්‍යාපනය සඳහා ඇති ඉඩ ප‍්‍රමාණය සීමිත වීමත් ආදී කරුණු නිසා නීති අධ්‍යාපනය සඳහා ප‍්‍රවේශ විය හැකි අවස්ථාවන් ඉතා සීමිත වී ඇති බව එම යෝජනාවලිය තුළ දක්වා ඇත. සංඛ්‍යාලේඛනවලට අනුව 2016 වර්ෂයේ රජයේ විශ්වවිද්‍යාලවල නීති උපාධිය සඳහා සුදුසුකම් ලබා ඇති නමුත් කඩයිම් ලකුණු ප‍්‍රමාණය නිසා සිසුන් 8432 දෙනෙකුට එම අවස්ථාව ගිලිහී ඇත. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති පාඨමාලාව සඳහා 2016 වර්ෂයේ 5135 දෙනෙකු අයදුම්කර ඇති අතර එයින් සුදුසුකම් ලබා ඇත්තේ 239 දෙනෙකු පමණි.
 
මෙම ගැටළුවට විසදුම් ලෙස ප‍්‍රාදේශීය උසාවිවල සිටින දක්‍ෂ නීතිඥවරුන් මානව සම්පත් ලෙස යොදාගෙන දිස්ත‍්‍රික්ක තුළ නීති අධ්‍යාපන ආයතන බිහිකිරීම, නීති අධ්‍යයනය සඳහා නව විෂයන් හදුන්වා දීම සහ සියලු ම ප‍්‍රාදේශීය නීති අධ්‍යයන ආයතනවල සියලු ම විභාග ශ්‍රී ලංකා විභාග කොමසාරිස් සහ ශ්‍රී ලංකා නීති අධ්‍යයන සභාවේ ඍජු අධීක්‍ෂණය යටතේ පවත්වමින් නීති අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැකගැනීම ආදී ක්ෂේත‍්‍ර කිහිපයකටම අදාල යෝජනා කිහිපයක්ම පිළිබඳව ම මෙහි ඇතුළත් වේ. 
 
මෙය තවමත් රජයේ ප‍්‍රතිපත්තියක් නොවන අතර ශ්‍රී ලංකාවේ අනාගත නීති අධ්‍යාපනයේ වර්ධනය සඳහා යොදාගත හැකි, සාකච්ඡුාවට සහ අවධානයට බදුන්විය යුතු යෝජනා මාලාවක් පමණක් ලෙස හැදින්විය හැකි අතර එම සම්පුර්ණ යෝජනා මාලාව ප‍්‍රතිපත්ති  සංවර්ධන කාර්යාලයේ ෆේස්බුක් පිටුව වන www.facebook.com/ policydevelopmentoffice තුළින් ජනතාව වෙත විවෘත කර ඇත.