Print this page

පූජ්‍ය කිරම විමලජෝති නායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම

අගෝස්තු 12, 2017

දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති, වෙහෙරහේන සිරි රේවත මහා පිරිවෙණේ කෘත්‍යාධිකාරී පූජ්‍ය කිරම විමලජෝති නායක ස්වාමින් වහන්සේ වෙත දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම පිළිබද ශ්‍රී  සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11)  මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.


අභිනව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
උන්වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථ කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

පසුගියදා මාතර දිස්ති්ක්කයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස අහිමිවූ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමක් ද මෙහිදි සිදු කෙරුණු අතර, සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක පූජ්‍ය අලව්වේ ගුණරතන හිමි විසින් එම ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන ලද රුපියල් කෝටියක් වටිනා ද්‍රව්‍යමය ආධාර ඛෙදාදීම සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී  ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ විසින්  පුණ්‍යෝත්සවයේ මුලසුන හෙබවූ අතර දෙවුන්දර රජමහා විහාරාධිපති ශ්‍රී කල්‍යාණවංශ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය දෙවුන්දර සිරි සුනන්ද නායක ස්වාමින් වහන්සේ, මහාචාර්ය මිදිගම සෝරත නායක ස්වාමින් වහන්සේ, මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය කෑගල්ලේ රතනසාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද, පූර්වාරාම රජමහා විහාරස්ථාන දායක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්‍ර යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු සහ ප්‍රදේශවාසී ජනතාව මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.