Print this page

වරප්‍රසාද කඩවීමක් සිදු වුණා- නි.ඇමති අජිත් පී.පෙරේරා

අගෝස්තු 11, 2017

පසුගිය 28 දින පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කැඳවීමේ සීනුව නාද කිරීම, කතානායක, පාර්ලිමේන්තු මහලේකම්, සහ ජනාධිපතිවරයාගේ අසුනේ වාඩිවීම යන සිදුවීම් නිසා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් සිදු වූ බවත් ඉන් වරප්‍රසාද කඩවීමක් සිදු වී ඇති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ප්‍රකාශ කළේ ය.

 මෙහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ''මන්ත්‍රීවරු කණ්ඩායමක් සභාව මැදට පැන බාධා කළා.

කතානායකතුමාට පාර්ලිමේන්තුව කල්තැබීමට සිදු වුණා. පාර්ලිමේන්තුව බැරෑරුම් ලෙස අපහසුතාවයට පත් කළා. වරප්‍රසාද කඩවීමක් මතුවී තිබෙනවා. මේ පිළිබඳව සොයාබලා වාර්තා කරන ලෙස ඉල්ලා සිටිනවා. මන්ත්‍රීවරු චේතනාත්මකව සභාවේ ගෞරවයට හානි කර තිබෙනවා.''

කතානායක කරූ ජයසූරිය මහතා-  මම මෙය වරප්‍රසාද කමිටුවට යොමු කරනවා. ඒ ගැන පරික්ෂා කරනවා.

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා- මෙයට වරප්‍රසාද ප්‍රශ්නයක් ගේන්න බෑ.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා - ඒ අවස්ථාවේ සෙන්කෝළය තිබුණා. පාර්ලිමේන්තුව තුළ ආදර්ශමත් ලෙස හැසිරිය යුතුයි.