Print this page

හානියට පත් පාසල් තිබුණාට වඩා හොඳ තත්ත්වයකට

ජූනි 17, 2017

ගංවතුරින් හානියට පත්වූ සියලු පාසල් තිබුණාටත් වඩා හොඳ තත්ත්වයකින් නගා සිටුවීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටබැද්දර දී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ගංවතුරට යටවූ පිටබැද්දර, දෙහිගස්ප, ඩඩ්ලි සේනානායක විදුහලේ ඊයේ (16) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ගංවතුරින් විනාශයට පත්වූ පරිගණක ඇතුළු සියලුපාසල් උපකරණ හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා බලධාරින්ට මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

ගංවතුරින් අවතැන් වූ ජනතාවට උපකාර කිරීම සදහා රජය ප්‍රමුඛව ජාති භේදවලින් තොරව උතුරු නැගෙනහිර ඇතුළු සියළුම ප්‍රදේශවල ජනතාව අත්වැල් බැඳගෙන කටයුතු කළ බව ද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට විශේෂ ප්‍රණාමය ද පුද කළේය.
 
ගංවතුරින් හානියට පත් ප්‍රදේශ නිරීක්ෂණය කරන අතරතුර මොරවක නගරයේ වෙළෙඳ ප්‍රජාව හමුවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හානියට පත්වූ ව්‍යාපාර යළි යථා තත්වයට පත්කර ගැනීම සඳහා රජයේ පාර්ශවයෙන් දියහැකි උපරිම සහයෝගය ලබාදෙන බව පැවසීය.

පානීය ජල ප්‍රශ්නය සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් දීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

ගංවතුර හේතුවෙන් හානියට පත්වූ ප්‍රදේශ කීපයකම නිරීක්ෂණ චාරිකාවට එක්වූ අග්‍රාමාත්‍යවරයා කොටපොල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරින්ද හමුවී තත්වය පිළිබඳ සාකච්ඡා පැවැත්වීය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ගංවතුරෙන් සිදු වූ හානිය අවම කර ගැනීමට හැකි වූයේ රජයේ නිලධාරීන් සිය ජීවිත සහ දේපොළ ගැන ද නොතකා කටයුතු කිරීම නිසා බවයි.

නිල්වලා සහ ගිං ගංඟා ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව අධ්‍යයනය කොට ගංවතුරට මුහුණදීමට හැකි අයුරින් කොන්ක්‍රීට් කණු මත නිවාස ඉදිකිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට පියවර ගැනීම සහ කුඩා තේ වතු හිමියන්ට වූ හානිය පිළිබඳව සොයා බලා ඔවුන්ට අවශ්‍ය විකල්ප ඉඩම් හෝ වන්දි ලබාදීමට අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමට තිබෙන බාධක පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නාය යාමට ලක්වූ ජනතාව විකල්ප ස්ථානවල නැවත පදිංචි කරවීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස ද බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවා ආර්ථික ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දී ඉදිරියට යා යුතු බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, නීතිය හා සාමය, දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහත්වරුන් ප්‍රමුඛ පළාත් සභා මැති ඇමැතිවරු ද, දිස්ත්‍රික් ලේකම්වරු ද, ප්‍රාදේශීය ලේකම්වරු ද ඇතුලු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වූහ.