Print this page

සහල් හිඟයක් ඇති වන්නේ නැහැ - ජනපති

ජූනි 17, 2017

වෙළෙඳපොළ තුළ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇති විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

සහල් තොග පවත්වාගෙන යාම සහ ඉදිරි සහල් අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමා ඊයේ (16) ජනාධිපති කාර්යාලයට කැඳවා තිබූ අතර එහිදී එතුමා මේ බව අවධාරණය කළේය.

වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් පවතින බවට ලැබුණු තොරතුරු අනුව ජනාධිපතිතුමා විසින් මෙම හමුව කැඳවා තිබූ අතර ගබඩාවල පවතින සහල් තොග පිළිබඳව ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය.

අවශ්‍ය පරිදි සහල් ගබඩා පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා වෙළෙඳ අමත්‍යාංශය ඒ පිළිබඳ නිරන්තරයෙන් අධීක්ෂණය කළයුතු බවට ද උපදෙස් දුන්නේය.

එමෙන්ම පාලන මිලට වඩා ඉහළ මිලකට වෙළෙඳපොළ තුළ සහල් අළෙවි කිරීම හේතුවෙන් පාරිභෝගික ජනතාව මුහුණදී තිබෙන අසීරුතාවයන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ අතර පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළෙඳසැල් සඳහා නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු පිළිබඳව ද නිලධාරින්ගෙන් කරුණු විමසීය.

එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවය පරිදි සහල් ආනයනය කිරීම සහ පෞද්ගලික අංශය ඒ සඳහා සූදානම් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.