Print this page

ජනපති සහ කලාකරුවන් හමුවේ

මැයි 19, 2017
කලාව, සංස්කෘතිය සහ සිනමාවේ ඉදිරි ගමන සහ ඒ පිළිබඳ ඉදිරිපත්වන විද්වත් යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ජනමාධ්‍ය, සංස්කෘතික සහ අධ්‍යාපන අමාත්‍යාංශවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් එම වැඩපිළිවෙළ මෙහෙයවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
 
ජනාධිපතිතුමා සහ විද්වත් කලාකරුවන් අතර හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.
 
කර්තෘ භාග ගෙවීමේ ගැටලුව පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් වූ අතර එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ විෂය පිළිබඳ දැනුමක් ඇති අපක්ෂපාතී විද්වත් පිරිසකගේ අදහස් ලබා ගනිමින් ඒ සඳහා රාජ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කරන ලෙසයි.
 
ජෝන් ද සිල්වා රඟහලේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් වූ අතර සංස්කෘතික අමාත්‍යවරයාගේ සහ අදාළ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් කැඳවා එහි ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
 
දේශීය සීනමාවේ සහ නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් විදේශයන්ගෙන් ගෙන්වන චිත‍්‍රපට සහ ටෙලි නාට්‍ය සීමා කිරිමට ගත් තීරණය සහ ඒ පිළිබඳ ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් විය.
 
දේශීය සිනමාවේ සහ නාට්‍ය කලාවේ පෝෂණය වෙනුවෙන් ගතයුතු පියවර රැසක් පිළිබඳ මෙහිදී කලාකරුවෝ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.
 
සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කලාව තුළින් ලබාදිය හැකි දායකත්වය ඉතා ඉහළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ජාතික සමගිය සහ අන්‍යොන්‍ය අවබෝධය ගොඩනැගීමේ නිර්මාණ බිහිවීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
 
පාසැල් ළමුන්ගේ කලා රසඥතාව වැඩිදියුණු කිරීම තුළින් දැනුමෙන්න්ම සාරධර්මවලින් පිරි අනාගත පරපුරක් ගොඩනැගිය හැකි බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
 
අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ද, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින් සහ කලාකරුවන් පිරිසක් මීට එක්ව සිටියහ.