Print this page

ස්වාධීන කොමිෂන් සභාවල ප‍්‍රගතිය සමාලෝචනය කෙරේ

මැයි 18, 2017
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභාවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ජාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 
 
රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ජාවේදී එම කොමිෂන් සභාවලට අදාළ නව යෝජනා හා අදහස් රැසක් ඉදිරිපත් කෙරිණි.
 
එමෙන්ම කොමිෂන් සභාවල කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණු අතර මෙම සියලු කොමිෂන් සභාවල කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළ ප‍්‍රමාදයකින් තොරව ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.
 
විගණන පනත ඇතුළු පනත් සම්මත කර ගැනීම, කාර්ය මණ්ඩල සපුරා ගැනීම ඇතුළු අඩු පාඩු කඩිනමින් සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරිපත් කෙරුණු ගැටළු පිළිබඳ අදාළ අංශ සමග ඉදිරියේදී සාකච්ජා කරන බව ද සඳහන් කළේය.
 
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් මෙම සාකච්ජාවට එක්විය.