Print this page

ඩෙංගු මර්දනයට තම වගකීම් ඉටු කරන්නැයි ජනපති ඉල්ලයි

මැයි 17, 2017
මේ වනවිට සීඝ‍්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය සඳහා තම සමාජ වගකීම ඉටුකිරිමට එක්වන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් මෙන්ම දේශපාලනඥයන්ගෙන් ද ඉල්ලා සිටින අතර ම ඩෙංගු මර්දනය සඳහා දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වලට අවශ්‍ය පහසුකම් සපුරා දෙමින් සිය සක්‍රීය දායකත්වය ඒ වෙනුවෙන් ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා සියලු දේශපාලන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.
 
එමෙන්ම ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ජූනි 01දා සිට ක්‍රියාවට නැංවීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා ජූනි 01දා සිට මාස 03 ක කාලයක් ඩෙංගු මර්දන කාලසීමාවක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ද උපදෙස් දුන්නේය.
 
ඩෙංගු රෝගය සීග‍්‍ර ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා විසින් ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවා තිබුණි. ඩෙංගු මර්දනයට අදාළව දැනට ගෙන යන වැඩසටහන්වලදී මතුව ඇති ගැටලු පිළිබඳ ලිඛිත වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
 
ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය අංශයේ ආයතනික වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක‍්‍රලේඛ කිහිපයක් ඉදිරියේදී නිකුත් කරන අතර ඒ පිළිබඳ පෞද්ගලික අංශය ද දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකරන ස්ථානවල ජලය එක් රැස්වී තිබීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.
 
එමෙන්ම සියලු ම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම පාසල්වල සෑම සතියක ම තෝරාගත් දිනකදී පැයක කාලයක් පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු  සහ ඩෙංගු මර්දනය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. 
 
ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය බැක්ටිරියාව නිපදවීමේ කටයුතු ශ්‍රී ලංකාවේ අදාළ සමාගම් හරහා නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ද ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කරමින් මෙම උවදුර පාලනය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳ ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් නිරන්තරව ජනමාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.
 
පරිසර පොලීසිය දැනට වඩා කාර්යක්ෂම හා ශක්තිමත් කරමින් ඩෙංගු මර්දන කටයුතු සඳහා යෙදවීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඩෙංගු මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දීර්ඝ කාලයක සිට ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමටද උපදෙස් දුන්නේය.
 
ඩෙංගු රෝගින් වැඩිවීම හේතුවෙන් රෝහල්වල මතුව තිබෙන තදබදය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රාගම හා කළුබෝවිල රෝහල් සඳහා තාවකාලික ගොඩනැගිලි ලබාදෙමින් එම රෝගින්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට  පියවර ගන්නා බවයි. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී සහ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවලදී ද ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා ප‍්‍රමුඛත්වය දෙමින් දිස්ත්‍රික් සහ ප‍්‍රාදේශීය වශයෙන් එම කටයුතු ක්‍රියාත්මක කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා හදිසි තත්ත්වයක් සේ සළකා මෙම වැඩසටහන සඳහා සියලුදෙනා ඒකරාශී වීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. 
 
එමෙන්ම ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය භෞතික සම්පත් සහ මානව සම්පත් පිළිබඳ ඉල්ලීම් කළ විට ඒ සඳහා අවශ්‍ය පියවර මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කළ හැකි බවද ජනාධිපතිතුමා සඳහන් කළේය. 
 
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාෆා, ගයන්ත කරුණාතිලක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් ද ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් ද, ඩෙංගු රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා සහ වෛද්‍ය නිලධාරීන් පිරිසක්  මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඩෙංගු කාර්ය සාධන බළකාය සමග ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.