Print this page

රුසියාව බලා පිටත්ව යාමට නියමිත ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය කණ්ඩායම ජනපති හමුවෙයි

අප්‍රේල් 20, 2017

18 වන ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වීම සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිත ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය කණ්ඩායම, අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

එම කණ්ඩායමේ සාමාජිකයන් වන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ.ඩී.එම්. අමායා ධර්මසිරි, මාතර රාහුල විද්‍යාලයේ ආර්.ජී. නිසල් පුන්සර, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ යූ.ජී. චතුර ජයශංක, කොළඹ රාජකීය විද්‍යාලයේ එම්.බී.එස්. ඩිමල් තනුක, ත‍්‍රිකුණාමලය ශාන්ත ජෝෂප් විද්‍යාලයේ මොහමඩ් අෆ්ලාල් මොහමඞ් අෆාම්, කොළඹ රාජකීය විද්‍යාලයේ ඒ.කේ.ඒ. රන්දුල, කොළඹ ආනන්ද විද්‍යාලයේ ටී.එම්.එස්. සමරකෝන්, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පී.ජී.එස්. චතුරංග බණ්ඩාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත රුපියල් ලක්ෂය බැගින් ගමන් වියදම් දීමනාවක් ජනාධිපතිතුමා විසින් මෙහිදී ප‍්‍රදානය කළේය.

 

ලබන මැයි මස පළමුවැනිදා සිට නව වන දා තෙක් රුසියාවේ සයිබීරියා ප‍්‍රාන්තයේ Yakutsk විශ්වවිද්‍යාලයේදී එම තරගය පැවැත්වෙන අතර, ඒ සඳහා ආසියාතික රටවල් 22 ක් සහභාගී වීමට නියමිතය.

 

මෙම ශිෂ්‍ය කණ්ඩායමට රුසියාවේ සිට Yakutsk විශ්වවිද්‍යාලයට යාම සඳහා අවශ්‍ය ගුවන් ගමන් පහසුකම් සපයන ලෙස රුසියානු තානාපති කාර්යාලයට දැනුම් දෙන්නැයි මෙහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් සහ ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාතික භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ සම්බන්ධීකාරක මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා යන මහත්වරුන් එක්ව සිටියහ.