Print this page

තොරතුරු දැන ගැනීමේ පනත සහ විගණන පනත මෙරට පරිවර්තනීය අවස්ථාවක්

මාර්තු 17, 2017

තොරතුරු දැන ගැනීමේ පනත සහ විගණන පනත මෙරට රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පරිවර්තනීය අවස්ථාවක් බව ජනාධිපතිතුමා මෛත්‍රීපා සිරිසේන මැතිතුමා පැවසීය.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම රාජ්‍ය සේවය ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල විනිවිදභාවය සහ විනය ඇති කිරීමට නව නීති රීති හා පනත් රැසක් සම්මත කර ක්‍රියාවට නංවා තිබෙන අතර ඇතැම් ඒවා ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතව පවතින බව ද  ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (17) පෙරවරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 34 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

අපේ රටේ රාජ්‍ය සේවයේ මෙන්ම සියලු ක්ෂේත‍්‍ර තුළ ඇතිවෙමින් තිබෙන මෙම වෙනස මහජනතාවගේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සමාජයක යහපැවැත්ම වෙනුවෙන් ඉතා අත්‍යාවශ්‍ය වූ අංගයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

සංවර්ධන වැඩපිළිවෙළේදී දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් අතර තිබිය යුතු සබඳතාවය මෙහිදී යළිත් අවධාරණය කළ ජනාධිපතිතුමා දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරින් අතර තිබෙන සම්බන්ධතාවය අඩුවීම රටේ සංවර්ධන ඉලක්කවල පසුබෑමට හේතුවන බව ද කියා සිටියේය.

එබැවින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්, ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සහ අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුවල ප‍්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම පිළිබඳ වාර්ෂික කාලසටහනක් සකස් කිරීමට තමා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙන අතර ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය ද දැනුවත් කර තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ තුළින් අදාළ රැස්වීම් පැවැත්වීම පිළිබඳ ඇතිවන ප‍්‍රමාදයන් වළක්වා ගනිමින් නිසි කලට රැස්ව නිසි තීරණගෙන රටේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.

මෙහි විශේෂ දේශනය තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ  උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන පියතිස්ස රණසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන්වන වජිර අබේවර්ධන, රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, අග‍්‍රාමාත්‍ය  ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක යන මහත්වරුන් ඇතුළු පරිපාලන ක්ෂේත‍්‍රයේ ඉහළ නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.