Print this page

මෙරට වගා නොකරන සියලු ඉඩම් නැවත වගා කිරීමේ වැඩපිළිවෙළක්

මාර්තු 17, 2017

මෙරට වගා නොකරන සියලු ඉඩම් නැවත වගා කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට වඩා ඉලක්ක සහගත සහ කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් ,රන්බිමක උරුමය, ඉඩම් ඔප්පු සහ දීමනා පත‍්‍ර ප‍්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (16)  හම්බන්තොට නව සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

 

කෘෂිකාර්මික රටක් ලෙස අපේ රටේ තිබෙන ඉඩම් ප‍්‍රමාණය නිෂ්පාදන කි‍්‍රයාවලිය සඳහා නිවැරදිව භාවිතා කිරිම අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ දුගී භාවය තුරන් කිරීමේදී ද එය ඉතා වැදගත් සාධකයක් බව කියා සිටියේය.

 

මානූෂීය අයිතියක් වන ඉඩමක අයිතිය ලබාදීමේදී කිසිඳු අවස්ථාවක පක්ෂග‍්‍රාහීව කටයුතු නොකරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී සියලු දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටියේය.

එකිනෙකාගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව නොව රටටම පොදු සංවර්ධන කි‍්‍රයාවලියක් ඔස්සේ අද රටේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව පැවසූ ජනාධිපතිතුමා කුමන බාධාවන් සහ අභියෝග එල්ලවුවද එම වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම අද සම්මුතිවාදී ආණ්ඩුව ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් සාර්ථකව ඉදිරියට ගමන් කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා එහි වැදගත්කම අදට වඩා හෙට දවසේ සියලුදෙනා කතා කරනු ඇති බව ද කියා සිටියේය.

 

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික ගොවි ජනතාව වෙත නේවාසික හා කෘෂිකාර්මික කටයුතු සඳහා පසුගිය කාලයේ බෙදාදෙන ලද හා ඉතා දීර්ඝ කාලයක් තිස්සේ අනවසරයෙන් භුක්ති විදිමින් සිටි ඉඩම්වල නීත්‍යානුකුල අයිතිය ලබාදෙමින් ඉඩම් ඔප්පු දස දහසක් මෙම වසරේ බෙදාදීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ අද දින ඉඩම් ඔප්පු සහ දීමනා පත‍්‍ර 2946 ක් බෙදාදීම සිදු කෙරිණි.

 

එය සංකේතවත් කරමින් අම්බලන්තොට, අඟුණකොළපැලැස්ස, තංගල්ල, වසල්මුල්ල, වීරකැටිය, කටුවන සහ මහවැලි බල ප‍්‍රදේශය නියෝජනය කරන ඉඩම්ලාභීන් කිහිප දෙනෙකු වෙත ඉඩම් බලපත‍්‍ර පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

 

අමාත්‍ය මහින්ද අමරවීර, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් ඉඩම් අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර, දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

මේ අතර අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඉදිකරන ලද අම්බලන්තොට නව සංස්කෘතික මධ්‍යස්ථානය ද අද පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

 

සමරු ඵලකය නිරාවරණය කර නව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි පළමු සාමාජිකයා සහ සාමාජිකාව ලියාපදිංචි කිරීමට ද එක් විය.

 

අමාත්‍යවරුන් වන එස්.බී නාවින්න, මහින්ද අමරවීර, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.