Print this page

ආහාර පාන ඇතුළු පාරිභෝගික භාණ්ඩ සපයන සියලු ආයතන තම මානූෂිය වගකීම් හඳුනා ගත යුතුයි- ජනපති

මාර්තු 16, 2017

නීතියෙන් රජය කරනු ලබන කළමණාකරනයන්ට වඩා සිය මානුෂීය වගකීම් හඳුනාගෙන කටයුතු කිරීමට ආහාර පාන ඇතුළු ජනතාවට අවශ්‍ය අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සපයන සියලු ආයතන කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටක සංවර්ධනයේ ප‍්‍රධාන මිණුම් දණ්ඩක් වන්නේ ආහාර පාන ඇතුළු අනෙකුත් පාරිභෝගික භාණ්ඩවල තිබෙන ප‍්‍රමිතිය බව සඳහන් කළ ජනාධිපතිතුමා තවමත් අපේ රටේ කොළඹ සිට දිවයින පුරා ඇතැම් ආපනශාලාවල මුළුතැන්ගෙය තුළ එම ප‍්‍රමිතිය සහ පිරිසිදු භාවය දක්නට නොමැති බව ද කියා සිටියේය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අදට යෙදී ඇති ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිත්තෙන් ඊයේ (15) කොළඹ නෙළුම් පොකුණ ශ‍්‍රවණාගාරයේ පැවති සම්මන්ත‍්‍රණයේ සමාප්ති උත්සවය අමතමිනි.

“ඩිජිටල් යුගයේ පාරිභෝගික අයිතිවාසිකම්“ මැයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබු අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයා ලබා ගන්නා විවිධ සේවාවන් වඩාත් විශ්වාසදායී සහ සුරක්ෂිත බවට පත් කර ගැනීම අරමුණයි.

ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් පාරිභෝගිකයින් මුහුණදෙන ගැටලු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව ප‍්‍රතිපත්ති සැකසීමට අවශ්‍ය පදනම සකස් කර ගැනීම ද මෙම සමුළුවෙන් අනතුරුව අපේක්ෂා කෙරේ.

සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ නවීන තාක්ෂණයට නතුවීමත් සමඟ එම දියුණුව අප සතු වුවත් එය බොහෝ අවස්ථාවල භාවිතා වන්නේ සමස්ත මානව සමාජයේ පරිහානියට බවයි. නවීන තාක්ෂණය මානව සමාජයේ යහපතට භාවිතා කිරීම බුද්ධිමත් සියලු පුරවැසියන්ගේ වගකීමක් බව පැවසූ ජනාධිපතිතුමා නවීන තාක්ෂණය පාරිභෝගික සුරක්ෂිතතාවය කෙරෙහි ද හෙට දවසේ වඩා පුළුල් අන්දමින් භාවිතා විය යුතු බව කියා සිටියේය.

“ඩිජිටල් යුගයේ කලාපීය සහ ගෝලීය පාරිභෝගික ගැටලු, පාරිභෝගික නැමියාවන් සහ විකාශය“ මැයෙන් මෙහි ප‍්‍රධාන දේශනය ආසියා පැසිපික් කාර්යාලයේ, පාරිභෝගික ජාත්‍යන්තර කලාප ව්‍යාපෘති නිලධාරී සත්‍යා ශර්මා මහතා විසින් සිදු කරනු ලැබීය.

ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් ජනාධිපතිතුමා විසින් පොල්තලේ පහන දැල්වීම ද විශේෂත්වයකි.

සමාජ මාධ්‍ය ජාල හරහා පාරිභෝගික ජනතාව පාරිභෝගික සේවා අධිකාරිය සමග සමීප කරවීමේ වැඩසටහන ද මෙහිදී ජනාධිපතිතුමා අතින් දියත් කෙරිණි.

පාරිභෝගික අධිකාරිය විසින් සංවිධානය කරන ලද කෙටි වාර්තාමය චිත‍්‍රපට තරගාවලියේ ජයග‍්‍රාහකයින් සිව් දෙනෙකුට තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍යවරුන් වන රිෂාඞ් බදියුන්, හරීන් ප‍්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. මුතුහෙට්ටි, පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.