අවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්න මහතා වෙනුවෙන් අද (11) පාර්ලිමේන්තුවේ දී ශෝකය පල කිරීමේ ශෝක යෝජනාවට අඳහස් පලකරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.
සිංහල සාහිත්‍ය, සිංහල භාෂාව, බෞද්ධකම පිළිබඳ හොඳ දැනුමක් එතුමාගේ පියාණන්ට තිබුණා.එතුමා පියාගේ අඩිපාරේ ආවා.එතුමා විශාල වගකීමකින් කටයුතු කළා.2000 සිට 2001 කාලයේ විශාල සහයෝගයක් ලබාදුන්නා.එතුමා පරිසරය පිළිබඳව විශාල උනන්දුවක් දක්වා ක්‍රියා කළා.පරාජයෙන් එතුමා අඩපණ වුණේ නෑ.එතුමා පළාත් සභව තුළ දේශපාලනයේ නියැළී සිටියා.එතුමා නොමැතිවීමෙන් විශාල හිදැසක් ඒ ප්‍රදේශයට ඇති වී තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්න නකල්ස් කඳුවැටිය සුරැකීම වෙනුවෙන් පෙරමුණ
ගත් තරුණ දේශපාලඥයෙක්, පරිසරවේදියෙක්-සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල
අවප්‍රාප්ත හිටපු මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්න මහතා නකල්ස් කඳුවැටිය සුරැකීම වෙනුවෙන් පෙරමුණ ගනිමින් ජෛව විවිධත්වය සුරැකීම කැපවී කටයුතු කළ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.
අවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්න මහතා වෙනුවෙන් අද (11) පාර්ලිමේන්තුවේ දී ශෝකය පල කිරීමේ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් සභානායකවරයා මේ බව පැවසී ය.
2003 වසරේ දී නකල්ස් කඳුවැටිය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානයට යෝජනා කිරීමට පියවර ගත්තා.
කිතුල් වගාව ව්‍යාප්ත කිරීමටත්, කිතුල් ගොවියා රැක ගැනීමටත් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා. 2003 වසරේ දී කිතුල් පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළා.
පරිසරය සුරැකීම වෙනුවෙන් එතුමාට ඕස්ට්‍රේලියාවේ දී 2009 දී Green award සම්මානය ද ශ්‍රී ලංකාවෙන් Green award සම්මානය ද ලබීමට වාසනාවන්ත වුනා.
මධ්‍යම පළාත් සභාවේ විපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළා.චතුර කථිකයකු වූ එතුමා මහත්මා දේශපාලනයේ නියැලුණු තරුණ දේශපාලඥයෙක්.පරිසරවේදියෙක්, ජනමාධ්‍යවේදියෙක් ලෙස ජනතා සිත් ආකර්ෂණය කරගනිමින් ජීවත් වූ මානව හිතවාදියෙකු බවද සභානායකවරයා පැවසී ය.
දේශපාලඥයකු පමණක් නොව එතුමා පරිසරවේදියෙක්,ජනමාධ්‍යවේදියෙක්
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක
එතුමා පාසල් කාලයේ දීප්තිමත් සිසුවෙක්.එතුමා පුවත්පත් කලාවේදියෙකු ලෙස ජීවිතය ආරම්භ කළා.භීෂණය පැවැති සමයේ මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස එතුමා පත් වුණා.2001 දී පාර්ලිමේන්තුවට පත් වුණා. සංජීව කවිරත්න මහතා ගහකොළ,සතා සිව්පාවාට ආදරය කළ චරිතයක්.එතුමා දේශපාලඥයකු පමණක් නොවේ පරිසරවේදියෙක්, ජනමාධ්‍යවේදියෙක්.
යෝධ නිදිකුම්බා මර්ධනය කිරීමට ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා. නකල්ස් කඳුවැටිය පිළිබඳව එතුමාට සුවිශේෂී දැනුමක් තිබුණා.
පරිසරය සුරැකීම නිසා දෙස් විදෙස් ගෞරවයට ලක් වුණා
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්න මහතා දේශපාල වශයෙන් මුවහත් වූ චරිතයක්. එතුමා සතා සිවුපාවන්ට ආදරය කළා.එතුමා පරිසරය සුරක්ෂිත කිරීමට තමන් ගොඩනගා ගත් දේශපාලන තුළ කටයුතු කිරීම නිසා දෙස් විදෙස් ගෞරවයට පත් වුණා.