2010දී පාර්ලිමේන්තුවට පැමිණි නෙරංජන් වික්‍රමසිංහ මහතාට 2015දී නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබිණි. එතුමාට දේශපාලනික වශයෙන් ඉතා දුරක් යන්න තිබුණත් අවාසනාවන්ත ලෙස මරණයට පත්වීම කණගාටුවට කරුණක් යැයි අද (11) පාර්ලිමේන්තුවේ අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතාගේ ශෝක යෝජනාව අවස්ථාවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කීය.
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
2010 වසරේ සිට 2015 දක්වා වසර 05ක් පමණ පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් කුරුණෑගල, මාවතගම ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකළ සදාදරණීය නායකයෙකු වූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ මැතිතුමාට මොක්සුව ප්‍රාර්ථනා කරනවා. ජනතාවට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකළ දේශපාලඥයෙකු ලෙස එතුමා හැඳින්විය හැකියි. මාවතගම ආසනයට මෙන් ම කුරුණෑගල දිස්ත්‍රික් පොදුමහත් ජනතාවට විශාල සේවයක් ඉටුකළා. ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන ගෞරවනීය භික්ෂූන් වහන්සේලා සමග ඉතා ලෙන්ගතු ඇසුරක් පැවැත්වුවා මෙන් ම සියලු විහාරස්ථානවල අභිවෘද්ධිය උදෙසා කටයුතු කළා. එතුමා ආගමික හා සංස්කෘතික ජීවනාලිය උදෙසා කටයුතු කිරීම පැසසිය හැකියි.
විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා,
මාවතගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක බවට 2010 පත් වී සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්තිය, ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කළා. පක්ෂයේ නායකත්වය වෙනුවෙන් සිටිමින් හැම විටම පක්ෂයේ කටයුතු වෙනුවෙන් මුල් වී කටයුතු කළා. එතුමා කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තබා තිබූ විශ්වාසය නිසා මෙවර මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබා දුන්නා. එතුමා ඉතා හොඳ ආදර්ශවත් මනුෂ්‍යයෙක්.
මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග,
නෙරංජන් වික්‍රමසිංහ මහතා සුහද, කිසිදු මතිමතාන්තරයක් නොදැරුව පුද්ගලයෙක් ලෙස තරුණ දේශපාලඥයන්ට ආදර්ශයක් සැපයුවා. අංගසම්පූර්ණ දේශපාලඥයෙක්. එකපාර තනතුරු ලබා ගත්තේ නැහැ. නගර සභාවට, පළාත් සභාවට පත්ව එහි නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, ඇමතිවරයෙක් ලෙස කටයුතු කර පාර්ලිමේන්තුවට පත් වුණා. එතුමා නැගී එන දේශපාලඥයෙක් නිසා මගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස හැම විටම අවස්ථාව ලබා දුන්නා. එතුමා නිහතමානී දේශපාලඥයෙක්. මා හැමවිටම හිතුවේ අවංක නියෝජ්‍ය ඇමතිවරයෙකු ලැබුණා කියන සතුටයි. එතුමාගේ අභාවය මට පමණක් නොව මගේ අමාත්‍යාංශයට, කාර්යමණ්ඩලයට විශාල පාඩුවක්.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා,
අපි කවදාවත් හිතුවේ නැති මන්ත්‍රීවරයෙකු ගැන අපිට අද ශෝකය පළ කරන්න වෙලා තියෙන්නේ. එතුමා හොඳ ක්‍රියාශීලී මන්ත්‍රීවරයෙක් මෙන් ම පාර්ලිමේන්තු දිනයන්හි පාර්ලිමේන්තුව අවසන් වනතුරු සිට කටයුතු කළ මන්ත්‍රීවරයෙක්. අපි පක්ෂ දෙකක සිටියත් ඕනෑම කාර්යයකදී ඒ පිළිබඳ සුහද ව කතා කළ හැකි මන්ත්‍රීවරයෙක් ලෙස හඳුන්වන්න පුළුවනි. එතුමා මියගිය බව ඇසූ විට කාටවත් අදහන්න බැරිවුණා. ඉතා හොඳ මිත්‍රයෙක්, සුන්දර මනුෂ්‍යයෙක් අපට අහිමිවීම ගැන මේ ලෙස කතා කරන්න වීම කණගාටුදායක කරුණක්. ප්‍රචණ්ඩත්වය පිටුදැකපු, අනාගත දේශපාලනයට අත්‍යවශය පුද්ගලයෙක් ලෙස මොහුව හැඳින්විය හැකියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා,
එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල ලෙස සේවය කළ පවුලක සාමාජිකයෙක්. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමාගේ පියා විශාල මෙහෙවරක් ඉටුකළ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පියා ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න නෙරංජන් වික්‍රමසිංහ මහතා ලොකු මෙහෙවරක් කළා. කෙටි කාලසීමාව තුළ ලොකු වැඩකොටසක් ජනතාව වෙනුවෙන් සිදු කළා. එතුමාගේ මරණය මාවතගම ජනතාවට විශාල පාඩුවක්.