නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් විශිෂ්ඨ රංගධරයෙක් ජීවන වේදිකාවෙන් සමුගෙන ඇත - අගමැතිගේ ශෝක පණිවුඩය

    ජූනි 04, 2015

    ගුවන් විදුලිය, වේදිකාව, සිනමාව, රූපවාහිනිය ආදි වූ කලා ක්ෂේත්‍රයන් තම ප්‍රතාපවත් හඩින්, ප්‍රභාන්විත රංගනයෙන් එකළු කළ තවත් විශිෂ්ඨ රංගධරයෙක් ජීවන වේදිකාවෙන් සමුගත් කලාවට ආශිර්වාදයක් වූ ජේ.එච්. ජයවර්ධන නම් වූ එකී ප්‍රවීණ කලාකරුවාණන්ගේ වසර 94 ක් වූ අර්ථසම්පන්න ජීවිතයට අප සැමගේ ගෞරවණීය ප්‍රණාමය හිමි විය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

     

    අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවුඩය:

    “ගුවන් විදුලිය, වේදිකාව, සිනමාව, රූපවාහිනිය ආදි වූ කලා ක්ෂේත්‍රයන් තම ප්‍රතාපවත් හඩින්, ප්‍රභාන්විත රංගනයෙන් එකළු කළ තවත් විශිෂ්ඨ රංගධරයෙක් ජීවන වේදිකාවෙන් සමුගෙන ඇත. කලාවට ආශිර්වාදයක් වූ ජේ.එච්. ජයවර්ධන නම් වූ එකී ප්‍රවීණ කලාකරුවාණන්ගේ වසර 94 ක් වූ අර්ථසම්පන්න ජීවිතයට අප සැමගේ ගෞරවණීය ප්‍රණාමය හිමි විය යුතු ය.

     

    ගුවන් විදුලියෙන් කලා ලොවට අවතීර්ණ වූ ජේ.එච්. ජයවර්ධනයන් අග්‍රගන්‍ය ගුවන් විදුලි නාට්‍ය රචකයකු හා නාට්‍ය ශිල්පියකු ලෙස මහත් ජනාදරයට පාත්‍ර විය. ගුවන්විදුලිය වෙනුවෙන් සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය පරිවර්තනය කරමින් ශ්‍රාවක රසවින්දනයේ නිම්වළලූ පුළුල් කරන්නට ඔහු ලබා දුන් දායකත්වය ද පැසසුම් කටයුතු ය. ගුවන් විදුලි නාට්‍යයන්ට අමතරව පද පෙරළි, රිසි පැන, දැනුම මිනුම ආදී අධ්‍යාපන විශේෂාංග රැසක් ද නිෂ්පාදනය කළ ජයවර්ධන මහතා ගුවන් විදුලිය තුළ පෑ පෙළහර විශිෂ්ඨ ය.

     

    ජේ.එච්. ජයවර්ධනයන් වඩාත් සහෘද හදවත් දිනාගත්තේ වේදිකාව, සිනමාව මෙන්ම රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ප්‍රකට කළ ප්‍රතිභාන්විත රංග කෞශල්‍යය හේතුවෙනි. මකරාක්ෂයා, අහසින් වැටුණු මිනිස්සු, කැලණි පාලම, උතුරේ රාහුල වැනි වේදිකා නාට්‍ය තුළ ඔහු පණ පෙවූ චරිත ප්‍රේක්ෂක සිත්සතන් තුළ සදාතනිකව රැඳී පවතිනු ඇත. දඩයම, හඳයා, අධිෂ්ඨාන වැනි සිනමා සිත්තම් ද, ඔහුගේ අපූර්ව රංගනයෙන් ඔපවත් වූ ලොක්කෙ මාමා, දළ රළ පෙළ, හිරුට මුවාවෙන්, දඩයම වැනි ටෙලි නාට්‍ය ද මේ මොහොතේ අමතක කළ නොහැකි ය.

     

    ග්ලූකොමා රෝගය වැළඳීම හේතුවෙන් 1997 වසරේ සිට සදාකාලික අඳුරේ ගිලී සිටි නමුත් ජීවිතය පිළිබඳ සුපසන් හැඟීමෙන් මනා අවබෝධයෙන්, ධර්ම ඇසුරු කරමින්, ගුවන් විදුලිය සමඟ සමීප සබැදියාවෙන්, පවුලේ සැමගේ ආදරය මැද ඔහු තම ජීවිතයේ සැදෑ සමය ගත කළේය.

     

    ජේ.එච්. ජයවර්ධන ප්‍රතිභාන්විත කලාකරුවා තවදුරටත් අප අතර නොවූවද, ඔහු අප සිත්සතන් තුළ සදා නොමැකී ජීවත් වන බව සිහිපත් කරමින්,  ඒ මහතාගේ වියොවින් වේදනාවට පත් ආදරණීය බිරිඳට, දූ දරුවන්ට,  ඥාති හිත මිත්‍රාදීන්ට මාගේත් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත්  සාතිශය සංවේගය පළ කරමි.“

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya