ප්‍රශ්නය තිබෙන්නේ ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේ නොව ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම සලකා බලා තින්දුව දුන් ආකාරයේ බවත් මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ප්‍රශ්න කරන්නේ මන්දැයි විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විමසන බවත් ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව මාර්ගයෙන් අධිකරණය ක්‍රියාත්මක කරන නිසා ඒ ගැන ප්‍රශ්න කිරීමට තමාට අයිතියක් තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඊයේ (19) මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් මාතර නූපේ මංසන්ධියේ පිහිටි එම කාර්යාලයේ පැවැති උත්සවයේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් සිය අදහස් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා,
“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නේ නම් එම දෝෂාභියෝගය ගෙන ආ යුත්තේ ද පාර්ලිමේන්තුවටයි. එහෙත් එවැනි දෝෂාභියෝගයක් ගෙන එන්න අපට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර ඇමැති ජී.එල්. පීරිස්ලා ක්‍රියා කළ ආකාරයට අප ක්‍රියා කරන්නේ නැහැ.
මේ කාරණය සම්බන්ධයෙන් මම මතු කළේ නීති ප්‍රශ්නයක් පමණක් වන අතර ඊට පිළිතුරු දිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් රැස්වුණාට පසුවයි. එහෙත් හොරකම වසා ගැනීම සඳහා මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් නොව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමහර අයයි.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් උත්තර බැදීම සඳහා අපට උසාවිය මගින් දැනුම්දීමක් කර කිසිදු අවස්ථාවක් ලබා දී තිබුණේ නැහැ. මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලා ඒ සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් පමණක් යුතු විනිසුරු මඩුල්ලකට හැකියාවක් තිබෙනවාද යන ප්‍රශ්නය තිබෙනවා.
එමෙන්ම කවුරුන් හෝ අත්අඩංගුවට ගන්නවා නම් මහෙස්ත්‍රාත් උසාවියේ අනුමැතිය ලබාගත යුතුව තිබෙන නමුත් ඒ අනුමැතිය ලබාදීමට නොහැකි බව මහෙස්ත්‍රාත් උසාවිය මාස හතරක් මුළුල්ලේ කියා සිටිනවා නම් මහෙස්ත්‍රාත් උසාවියේ කාර්යභාරය කුමක්ද? එමෙන්ම අත්අඩංගුවට ගැනීම පොලිසියේ කාර්යභාරයක් වන අතර ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන්නේ අධිකරණ බලතලයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පොලිසියේ බලතල යොදා ගත හැකි ද යන ප්‍රශ්නය ද මතු වනවා. මේ ප්‍රශ්න අධිකරණයේ වාද විවාද කර පිළිතුරු ලබාදිය යුතුයි.
ශ්‍රී ලංකාවට ඇඟිලි ගසන්නැයි මම විදේශ රටවලින් ඉල්ලා සිටින බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටිනවා. මම කියා සිටියේ අපේ රටට විදේශ රටවල් ඇඟිලි ගැසිය යුතු බව නොව, අපේ යුතුකම් සහ වගකීම් අප ඉටු කළ යුතු බවයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් 2013 දී ශ්‍රී ලංකාවට කැඳවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. ඊට අදාළ කරුණු කාරණා සහ කොන්දේසි ඇතුලත් ලියකියවිලි සකස් කර දුන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතායි. ඒ අනුව අප සියලූ පාර්ශ්වයන් එදා මේ කරුණු කාරණා සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණියා.
ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය වත්මන් සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අපේ ආණ්ඩුවටත් ඒ කොන්දේසි අනුගමනය කිරීමට වගකීමක් සහ යුතුකමක් තිබෙන බව කිව යුතුයි. එසේ නොකරන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් විය යුතුයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය මූල ධර්ම ඇතුළත් මේ ප්‍රඥප්තියට අත්සන් කළේ මම නොව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වන අතර ඒ සියල්ල අනුමත කළේ එවකට පැවැති කැබිනට් මණ්ඩලයයි. ඒ අනුව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මේ සම්බන්ධයෙන් මේ මොහොතේ කෑ ගැසීමෙන් පළක් වන්නේ නැහැ. ඔහු කළ යුතුව තිබුණේ මේ තත්ත්වය ගැන කැබිනට් මණ්ඩලයේ දී එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ප්‍රශ්න කිරීමයි.
විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියන ආකාරයට නීතිමය ප්‍රශ්න ඇතුලූ තීරණාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු රාජය මණ්ඩලයේ මතය විමසීම මගින් රටට ඇඟිලි ගැසීමට විදේශ බලවේගවලට ඉඩ සැලසීමක් සිදුවන්නේ නම් ඊට වගකිව යුත්තේ සහ වරදකාරයා වන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාත්, නිමල් සිරිපාල ද සිල්වා ඇතුලූ එම කැබිනට් මණ්ඩලය බව කිව යුතුයි.
"ජනතාවට වගකිව යුතු රජයයන් බව සහතික කරමින්, තම රටවල ජනතාවගේ සුරක්‍ෂිතභාවය සදහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස නීතියේ ආධිපත්‍යය මත පූර්ණ විශ්වාසය තබන බව පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් විසින් යලිත් වරක් තහවුරු කරන ලදි. ස්වාධීන, ඵලදායි අධිකරණ පද්ධතියකට සහය දැක්වීම, ස්වාධීන අපක්‍ෂපාතී අවංක සහ කාර්යක්‍ෂම නෛතික ක්‍රමයක් අනුගමනය කිරීම සහ ප්‍රමාදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම ඔස්සේ නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමට ද, නීතිය හා අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීමට ද ඔව්හු සහය පළ කළහ. පොදු රාජ්‍ය මණ්ඩල ලැටිමර් හවුස් ප්‍රතිපත්ති සඳහා ද ඔවුන් විසින් සිය සහයෝගය නැවත නැවතත් ප්‍රකාශ කරන ලද අතර, ව්‍යවස්ථාදායකයේ, විධායකයේ සහ අධිකරණයේ බලතල බෙදා වෙන් කිරීමේ හා ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ කාර්යභාරය අවංකව පවත්වාගෙන යාමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කරන ලදී" යනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානීන්ගේ ප්‍රකාශනයේ 35 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වනවා. මේ තීන්දු තීරණ ගෙන මේ ප්‍රකාශනයට අත්සන් කළේ කවුරුන්ද? මම ද? නැහැ.... එසේ නම් මට බොරුවට කෑ ගහන්නේ ඇයි?
එමෙන්ම එම ප්‍රකාශනයේ 42 වැනි වගන්තියේ සඳහන් වන්නේ "එක්සත් ජාතීන්ගේ දූෂණය පිළිබඳ වූ සම්මුතිය පිළිගැනීම හා ක්‍රියාත්මක කිරීම ඇතුලූව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සිදුවන දූෂණය තුරන් කිරීමේ ප්‍රයත්නයන් තහවුරු කිරීමේ සහ කඩිනම් කිරීමේ අවශ්‍යතාවය රාජ්‍ය නායකයින් විසින් පෙන්වා දෙන ලදී. මේ සම්බන්ධයෙන් තවදුරටත් නොසලකා නොසිටිය යුතු බව නායකයින් අවධාරණය කළහ. දූෂණය පිළිබද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින්, විශේෂයෙන්ම සාමාජික රටවලට නීත්‍යානූකුල නොවන අන්දමින් ලැබෙන අරමුදල් සහ දේපළ හදුනාගැනීම, සොයා ගැනීම, වත්කම් තහනම් කිරීම සහ ඒවා නැවත හිමි රටවල් සඳහා ලබාදීම එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූලව සිදු කිරීම සඳහා සහය පළ කිරීමට ද නායකයන් විසින් එකඟත්වය පළ කරන ලදී" යනුවෙනුයි.
ඒ අනුව අපට තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන මේ තීන්දුව පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානීන් අත්සන් කළ ප්‍රකාශනයේ 35 වැනි සහ 42 වැනි වගන්තියට අනුකූල ද, නැද්ද යන්න පිළිබඳව ඇසීම පමණයි.
පොදු රාජ්‍ය මණ්ඩලය මේ එකඟතාවයට පැමිණ සිටිනවා නම් අප කළ යුත්තේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලයේ මතය විමසීමයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලයෙන් මේ මතය විමසිය යුත්තේ එම මණ්ඩලයේ සභාපතිවරයායි. එතුමා මේ සම්බන්ධයෙන් ඊට අනුකූල නොවන ආකාරයට පියවර ගත්තොත් සිදු වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය වගකීම කඩාකප්පල් වීමයි.
මේ අනුව නිමල් සිරිපාල ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වයෙන් ඉවත් විය යුතු බව ද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු ද? පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් එළැඹඇති මේ එකඟතා සහ කොන්දේසි ක්‍රියාත්මක නොකළ යුතුද?
පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානීන්ගේ මේ ප්‍රකාශනයට රටක් ලෙස ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන්නේ ස්ව කැමැත්තෙනුයි. අපේ රටට ඇඟිලි ගසන්නැයි විදේශ රටවලින් අප කිසි විටෙක කිසිදු ඉල්ලීමක් කර නැහැ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවෙන් 2009 දී ඉල්ලා සිටියේ ද අප නොව, මහින්ද රාජපක්‍ෂ රෙජීමයයි. එසේ නොමැතිව අපේ රට සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණ කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව ආවේ නැහැ.
එසේ නම් නිමල් සිරිපාල ද සිල්වා ඇතුලූ කණ්ඩායම ගහන මේ පදය සෑහෙන්න පරණ පදයක් වන අතර ඒ බෙරය මේ වන විට පැලිලා.... දූෂණයට තවදුරටත් ඉඩ තබනවා ද, නැද්ද කියා තීරණය කළ යුත්තේ ජනතාවයි.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂා කිරීමට නිමල් සිරිපාල ද සිල්වාට අවශ්‍ය නම් ඒ ගැන මට ප්‍රශ්නයක් නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂා කරනවා නම් සරත් ෆොන්සේකාව එදා ආරක්‍ෂා නොකළේ ඇයි? එතුමා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යමින් අප කෙතරම් සටනක් ගෙන ගියාද? යුද්ධය දිනවූ හමුදාපති සරත් ෆොන්සේකාව මේ අය හිරයට දැම්මා. එතුමාට හිර බත් කන්න දුන්නා පමණක් නොව, එතුමාගේ ජෙනරාල් පදවිය ද මේ අය අහෝසි කරමින් නිලයෙන් පහළට දැම්මා.
එහෙත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණාට පසුව එතුමා ජෙනරාල් පදවියට නොව, ෆීල්ඩ් මාෂල් ධූරය දක්වා උසස් කළා. ඒ අනුව යුද ජයග්‍රහණයේ හය වැනි සැමරුම වෙනුවෙන් මාතර පැවැති රණවිරු උත්සවයට ද සරත් ෆොන්සේකා මැතිතුමා ගෞරවාන්විතව පැමිණ සිටියා. යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙය වූ සරත් ෆොන්සේකා සිර භාරයට ගත් මේ අය අපට විරුද්ධව කතා කරන්නේ කෙසේද?
1915 දී හෙන්රි පේදිරිස්ව වෙඩි තබා ඝාතනය කළ යුතු බවට යුදාධිකරණය දුන් ආඥාව අනුව සරත් ෆොන්සේකා මහතා සිර භාරයට ගත නොහැකි බව එදා වගේම මම අදත් කියා සිටිනවා. අවශ්‍ය නම් මේ ප්‍රකාශය ඕනෑම පුවත්පතක පළ කරන හැටියට ද ඉල්ලා සිටින්නට කැමතියි.
සරත් ෆොන්සේකා මැතිතුමාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් එතුමාට කණගාටුව පළ කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට සූදානම් දැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මේ අයගෙන් මම ප්‍රශ්න කරනවා. එතුමා වෙනුවෙන් කණගාටුව පළකරන යෝජනාවක් ඉදිරි සතියේ දී ඉදිරිපත් කර ඊට සහයෝගය දැක්වීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව කිව යුතුයි.“ යැයි කියා සිටියේය.
SDF