ත්‍රස්තවාදය නිමා කර මාතෘ භූමියට නිදහස දිනා ගැනීමේ ඓතිහාසික දිනය සිහිපත් කෙරෙන විජයග්‍රහණයේ හයවැනි සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ මාතර සමුද්‍ර මාවතේදී අභිමානවත් අයුරින් පැවැති අතර එහිදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
නව රජය ප්‍රතිපත්ති සංවර්ධනය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් සංහිඳියාව අවශ්‍ය බව පැහැදිලිව තේරුම් ගත යුතු බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
සංහිඳියාව තුළ සාමය, ගවේෂණය, යුක්තිය ඉටු කිරීම, සියලු ජනකොටස් අතර බිය, සැක, අවිනිශ්චිත බව වෙනුවට හොඳ හිත ඇති කිරීම හා භෞතික දේ ගොඩනැගීමට කටයුතු කරන බවත් එම නිසා සංහිඳියාව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන් වසර 30කට ආසන්න මිලේච්ඡ ත්‍රස්තවාදය අවසන් කර රටේ සාමය, ඒකීය බව, භෞමික අඛණ්ඩතාවය, මාතෘභූමියේ උරුමය ආරක්ෂා කළ දිනයක් ලෙස මෙම දිනය නම් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එල්ටීටීඊ මිලේච්ඡ යුද්ධය නිසා ජීවිත දහස් ගනනක් අහිමි වූ අතර ජිවිත පරිත්‍යාගයෙන් සටන ජයග්‍රහණය කිරීමට රණවිරුවන් කැප වූ බව ද පෙන්වා දුන්නේය.
80 දශකයේ සිට යුද ජයග්‍රහණය සඳහා උරදුන් කැප වූ රාජ්‍ය නායකයින් අගය කළ යුතු අතර එහිදී රණවරුවන්ගේ කැප කිරීම මිල කළ නොහැකි බව ද පැවසීය.
විශේෂයෙන්ම බිඳුණු ගොඩනැගිලි, කැඩුණු පාරවල්, කැඩුණු විනාශ වුණු භෞතික සම්පත් යළි ගොඩනැගීම ඇති වුණත් බිඳුණු සිත් යළි ගොඩනගන්නට පශ්චාත් යුද සමය තුළ සංහිඳියා පිළිවෙතක් ක‍්‍රියාත්මක නොවූ බවත් එම නිසා නව රජයේ ප‍්‍රතිපත්තිය වන්නේ සංවර්ධනය සහ සංහිඳියාව බවත් සඳහන් කළේය.
අද මෙන් හෙට උපදින දරුවන් වෙනුවෙන් රජයක් ලෙස සියලු අංශ දියුණු කළ යුතු බවත් ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසිය, සිවිල් ආරක්ෂක අංශය ඒ සඳහා අවශ්‍ය කැප වීම මේ වන විට සිදු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා හෙට දවසේ සංවර්ධනය සංහිඳියාව එකම ආකාරයට ක්‍රියාත්මක කළ යුතු අත්‍යවශ්‍ය කරුණක් වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
kpm