නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනතේ හරය විධායක බලය අත්හැරීමයි

    අප්‍රේල් 09, 2015
    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ හරය වන්නේ බලය අත්හැරීම බවත් ජනාධිපතිතුමා විධායක බලතල අත්හරින්න හදන අවස්ථාවේ තමුන්නාන්සේලා බලය අත්හරින්න එපා කියනවා යැයි සභානායක, වැවිලි කටයුතු අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ අදහස් දක්වමිනි.
     
    ශ්‍රේෂ්ඨාධිකරණයට පිටින් අපට යන්න බැහැ. එයට එකග විය යුතුයි. කාරක සභා අවස්ථාවේ මහජනයා දන්නේ නැති ප්‍රසිද්ධ නොකළ සංශෝධන ගෙන එන අවස්ථා තියෙනවා. 18 වන සංශෝධනය ගෙන ආවේ පසුගිය ආණ්ඩුව එක දිනකින්. අපි දවස් 10ක් දෙනවා මේ ගැන අධ්‍යයනය කරන්න. අපේ පක්ෂය යහ පාලනයට කැප වුණු පක්ෂයක් යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ව අපි හැමෝම වගකීමෙන් විමසා බැලිය යුතු බවත් මෙහි බොහෝ අංගෝපාංගවලට එකඟ විය හැකි තත්ත්වයක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
     
    මෙහි සම්මත කළ හැකි මූලික එකඟතාවලට එන්නට ගැටලුවක් නැහැ. මේ ව්‍යවස්ථාව හැකි ඉක්මනින් සම්මත කළ යුතු බව ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ  අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ.
     
    ස්වාධීන කොමිෂන් සභා පිහිටුවිමේ අභිප්‍රායට අප එකඟයි. 19 වන ව්‍යවස්ථා කෙටුම්පත අපේ භාෂාවෙන් මෙන් ම දෙමළ භාෂාවෙන් ද සකස් කළ යුතුයි. එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අයිතිය අපිට තිබිය යුතුයි. මේ විධායකයේ ඇති නරක බලතල සම්බන්ධයෙන් පොදු සම්මුතියකට ඒම ප්‍රශ්නයක් නැහැ. මේ ව්‍යවස්ථාව ගැන එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සාකච්ඡා කළ යුතුයි. මේ ව්‍යවස්ථා සංශෝධනය කලින් ආණ්ඩුව කළ යුතු ව තිබුණත් එය පැහැර හැරිය බවත් අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.
     
    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට තබන වඩාත් ශක්තිමත් පියවරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.
     
    මින් අපි අපේක්ෂා කරන සම්පූර්ණ අරමුණ ඉටුවෙනවා යැයි බලාපොරොත්තු නොවුවත් 17 වන සංශෝධනයෙන් ඇති කර ගන්නට බලාපොරොත්තු වූ ප්‍රජාතන්ත්‍රවාදී දිශාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තැබූ ශක්තිමත් පියවරක් ලෙස සැලකිය හැකි බැවින් හරයෙන් මේ සංශෝධනය දෙස බලමු යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
     
    මේ අවස්ථාවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම අවශ්‍ය බව පැවසීය.
     
    මෙය ඉතාම වැදගත් උවමනාවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. විශාල මතභේද අපට නැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවෙන් සකස් කර තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් පිට යන්න බැරි බව ඔහු කීය. 
     

    පනතේ ඉදිරිපත් කරන ලද සියලු කරුණු පිළිබද ව අධිකරණයේදී සාකච්ඡාවට ලක් වූ බවත් දැනටමත් අධිකරණයෙන් තීන්දුවක් ලබා දී ඇති නිසා යළි අදහස් දැක්වීමට හැකියාවක් නැති බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

     

    මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, යහ පාලනය පිළිබද විනිවිදභාවයක් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පේනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු කිරීම අවශ්‍යයි. විධායකයේ බලය ඉවත් කරන්න කැමති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියනවා. සභාවේ කියූ පරිදි විපක්ෂයට මේ පිළිබද අධ්‍යයනය කරන්න අවස්ථාව තියෙනවා. මෙය මහින්ද රාජපක්ෂගේ හෝ රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නයක් නෙවේ. මේ විධායකය ඉවත් කිරීම අනාගතය පිළිබද ප්‍රශ්නයක් බව ඔහු අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya