නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපවත් වී වදාළ අස්ගිරි මහ නායක හිමියන්ට අමා මහ නිවන් සුව අත්වේවා - අගමැති

    අප්‍රේල් 09, 2015

    අපවත් වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශවයේ විසිවැනි මහා නායක ස්වාමින් වහන්සේ වන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමින් වහන්සේ වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අපවත් අස්ගිරි මහ නායක හිමියන්ට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරයි.

     

    අග්‍රාමාත්‍යතුමාගේ ශෝක පණිවුඩය:

     

    “අස්ගිරි මහා විහාර පාර්ශවයේ විසිවැනි මහා නායක ස්වාමින් වහන්සේ වන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමින් වහන්සේ ගේ අපවත් වීම ශ්‍රී ලංකා වාසී අප සැමට මහත් සංවේගදායක අවස්ථාවකි.

     

    උන්වහන්සේ සුවිශේෂ ශාසනික, සමාජයීය මෙහෙවරක් ඉටු කළ නිහතමානී, ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමකි.


    1945 වසරේ පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ ධර්ම ශාස්ත්‍ර අධ්‍යයනයෙන්, ධර්ම විනයෙන්, ශාසනික සේවාවන්හි පරිණත වෙමින්, 1998 වසරේ අස්ගිරි මහා විහාර අනුනායක ධූරයට ද, 1999 වසරේ දී මහා නායක ධූරයට ද පත් වූහ. පුරා වසර 70 ක් පමණ වූ පැවිදි දිවියේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්, අස්ගිරි මහා විහාර පාර්ශවයටත්, සමස්ත සම්බුද්ධ ශාසනයටත්, රටටත්, ලොවටත් උන්වහන්සේ සිදු කළ මෙහෙවර අතිශය අගය කටයුතු ය.

     

    දළදා වහන්සේගේ තේවාව සම්බන්ධ කටයුතු දීර්ඝ කාලයක සිට මහත් ශ්‍රද්ධාවෙන් ඉෂ්ඨ සිද්ධ කළ උන්වහන්සේ, ශ්‍රී දළදා මාළිගාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද මැදිහත්ව කටයුතු කළෝය. 

     

    ත්‍රෛනිකායික සමඟිය අගයමින්, ඒ සඳහා කැපවෙමින්, සම මෙත් සිතින් සියල්ලන් සමඟ කටයුතු කළ උන්වහන්සේ සමස්ත භික්ෂුන් වහන්සේලා ගේ නොමඳ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වූහ. 

     

    නව රජය පත්වීමත් සමඟ ඇති වූ සමාජ දේශපාලන වෙනස පිළිබඳව ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමින් වහන්සේ මහත් ප්‍රසාදයට පත් වූහ. රටේ යහපත වෙනුවෙන් මෙන් ම, ශාසනික දියුණුව වෙනුවෙන් ද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අප සමඟ සාකච්ඡා කළහ.  මගේ දේශපාලන ගමන් මඟට ද විටින් විට අවවාද අනුශාසනා ලබා දෙමින් උන්වහන්සේ ලබා දුන් ශක්තිය මේ අවස්ථාවේ දී කෘතවේදීව සිහිපත් කරමි.

     

    මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමින් වහන්සේ ට අමා මහ නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනය කරමි. “

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya