නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමට විදුලිය ලබාදීම යනු රටේ අනාගත පරපුර වෙනුවෙන් කරන දැවැන්ත ආයෝජනයක්

    අප්‍රේල් 09, 2015
    ගමට විදුලිය ලබාදීම යනු රටේ අනාගත පරපුර වෙනුවෙන් කරන දැවැන්ත ආයෝජනයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
     
    උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ග‍්‍රාමීය පවුල් 12,850කට විදුලි පහසුකම් ලබාදීමේ සූර්ය මංගල්‍යයේ අලුත් අවුරුදු එළිය ග‍්‍රාමීය විදුලිබල යෝජනා ක‍්‍රම ජනතා අයිතියට පවරාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි. එම අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව පැවසීය.
     
    ග‍්‍රාමීය ජනතාවට විදුලිය ලබාදීම සඳහා දියත් කරන ලද "විදුලමු ලංකා" ග‍්‍රාමීය විදුලිබල යෝජනා ක‍්‍රමය යටතේ මෙම වැඩසටහන කි‍්‍රයාවට නංවා ඇත.
     
    එක් එක් දිස්ති‍්‍රක්ක තුළ මේ වන විට වැඩ නිමකර ඇති විදුලි යෝජනා ක‍්‍රම හා විදුලි දිගු 758ක් මේ යටතේ බලගැන්වීම සිදු කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 1,975කි.
     
    සංකේතාත්මකව එම විදුලි යෝජනා ක‍්‍රම හා විදුලි දිගු බලගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ, ගමට විදුලිය ලැබීම තුළින් ගමේ දරුවන්ටද නව තාක්ෂණ මෙවලම් සමඟ එක්වීමට අවස්ථාව සැලසෙන බවයි. ඒ තුළ නව තරගකාරී ලෝකයට එක්ව ලෝකය ජයගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බව ජනාධිපතිතුමාකියා සිටියේය.
     
    සංවර්ධනය පිළිබඳ කුමන දේ කතා කළ ද රටේ සංවර්ධන වැඩපිළිවෙළේ සැබෑ අරමුණ විය යුත්තේ ගම සහ නගරය අතර ඇති පරතරය තුරන් කිරීමයි. ග‍්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කර නගරයේ ඇති පහසුකම් ඔවුන්ට ලබාදීම වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපතිතුමා කළ කතාව මෙසේය. 
     
    "මම ඉතා සතුටු වෙනවා මේ රටේ සංවර්ධනයේ ඉතා වැදගත් වූ ප‍්‍රමුඛ කාර්යක් උසුලන විදුලි හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ග‍්‍රාමීය විදුලිබල යෝජනා ක‍්‍රම ජනතා අයිතියට පත් කිරීමේ මේ වැදගත් අවස්ථාවට සහභාගීවීමට ලැබීම ගැන.
     
    ඒ වගේම ගරු පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ ප‍්‍රධානීන් තමුන්නාන්සේලා සියලු දෙනාට මගේ ස්තූතිය පුදකරනවා මේ අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ විදුලි යෝජනා ක‍්‍රම දහසකට අධික ප‍්‍රමාණයක් අපේ රටේ දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වෙනවා.
     
    විශේෂයෙන් අද සෑම කෙනෙක්ම රටේ සංවර්ධනයට වගේම තමන්ගේ පෞද්ගලික කාර්යයන් සඳහා ඉතා අත්‍යවශ්‍යව බලාපොරොත්තුවන දෙයක් විදුලිය. ග‍්‍රාමීය විදුලිබල යෝජනා ක‍්‍රම ගැන කතාකරන විට ග‍්‍රාමීය විදුලිබල යෝජනා ක‍්‍රමවල විශේෂත්වයක් තිබෙනවා. ඊට හේතුව තමයි ගමත්, නගරයත් අතර තිබෙන සංවර්ධනයේ වෙනස සංවර්ධනයේ පරතරය ක්ෂණිකව ඉවත් කිරීමක් සිදුවෙනවා ගමට විදුලිය ලැබීම තුළ.
     
    විශේෂයෙන්ම අපේ රටේ ග‍්‍රාමීය ජනතාව, අපේ තිබෙන උරුමයන්, සංස්කෘතිය අපේකම සමඟ නව ලෝකය දකින්න ඉතා කැමතියි. ඒ වගේම ගම්වල ජීවත්වන අපේ දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට ඒ වගේම ඉන් බාහිරව ලෝකය දැකීමට විදුලිය සමඟ ලැබෙන නව තාක්ෂණික මෙවලම් සමඟ එක්වන්න ඉතාමත් කැමැතියි.
     
    ගමට විදුලිය, ග‍්‍රාමීය ජනතාවට විදුලිය කියන කාරණයේ විශේෂත්වයක් තිබෙනවා වෙනත් අංශවලට වඩා. අපේ රටේ ජීවත්වන ජනතාවගෙන් ඉහළ ම ප‍්‍රතිශතයක් ජීවත් වන්නේ ගම්බදව. ග‍්‍රාමීය පිටිසර ප‍්‍රදේශවල. ඒ ගම්බද පිටිසර පළාත්වල ජීවත්වන ජනතාව සහ නගරයේ ජීවත්වන අය අතරේ තිබෙන වෙනස්කම්වලදී බොහෝවිට අපි දකින දෙයක් තමයි දරුවන්ගේ විභාග ප‍්‍රතිඵල.
     
    ඒ විභාග ප‍්‍රතිඵල ගන්නා විට නගරයේ ජනපි‍්‍රය පාසල්වල දරුවන් වඩා ඉහළ අගයක් ගන්නෙත්, ඇතැම් විට ගමේ ඉස්කෝලෙට අඩු අගයක් ගන්නේත් තිබෙන පහසුකම්වල ප‍්‍රශ්න නිසා. නමුත් ගමට විදුලිය ලැබෙන විට නව තාක්ෂණික මෙවලම් සමඟ දරුවා එකතු වෙනවා. ඒ තුළ ලෝකය දකිනවා. තරගකාරී සමාජයට එක්වෙනවා.
     
    ඒ නිසා අපි සෑමවිටම මේ ග‍්‍රාමීය විදුලිබල යෝජනා ක‍්‍රම තුළ දකින්නේ අඳුරට නැත්නම් කළුවර වැටුනහම බල්බ් එකක් පත්තුවෙනවට වඩා නව තාක්ෂණය සමඟ ගම්බද ජනතාව නව පරපුර කුඩා දරුවගේ සිට නව තාක්ෂණ මෙවලම් සමඟ එක්වීමට ලැබීම. මේ විදුලියෙන් ලැබෙන ප‍්‍රයෝජන එක්ක විශේෂයෙන් තමන්ගේ දැනුම, සමාජ ආකල්ප, නව ලෝකය හඳුනා ගැනීම වඩා වඩා අත්දකින්නට ලැබීම මේ සියල්ල සමඟ ඒ අයට ලැබෙනවා. මේ ග‍්‍රාමීය විදුලි ව්‍යාපෘති අපි ගමට කරන පුළුල් ආයෝජනය.
     
    විදුලිය කියන්නේ රටක සංවර්ධනය සඳහා දිර්ඝකාලීන ආයෝජනයක්. ඒ දීර්ඝකාලීන ආයෝජනයේදී මේ කටයුතු සංවිධානය කරමින් විදුලිබල හා බලශක්ති ආමත්‍යාංශය මේ කරන කාර්යය මම ඉතාමත් අගය කරනවා. අප රට වශයෙන් ගත්විට සියයට සීයක් විදුලිය ලබාදීම සඳහා ගෙනයන ඉලක්ක සහගත ජාතික වැඩපිළිවෙළේදී ඔබ දන්නවා මට වඩා තව ඉතා සුළු ප‍්‍රමාණයක් තමයි තිබෙන්නේ ඒ ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා. 
     
    අපේ රටේ විදුලිය ලබාදීමේදී එක් එක් ප‍්‍රදේශ විදිහට දැනට විදුලිය ලබාදී තිබෙන ප‍්‍රදේශවල අවම සහ උපරිම තත්ත්වයන් දැන් පෙන්නලා දුන්නා. එහිදි පෙනුනා පසුගිය කාලයේ යුද්ධය පැවති ප‍්‍රදේශවල අඩු අගයක් තිබෙන බව. දැන් මම දැක්කා ඊයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරපු අලුත් ම වාර්තාව රටේ ආර්ථිකය පිළිබඳ. ග‍්‍රාමිය ආර්ථිකය, නාගරික ආර්ථිකය, එක් එක් ප‍්‍රදේශවල තිබෙන තත්ත්වයන්, දරිද්‍රතාව මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්විට අපි බස්නාහිර පළාත ගත්තොත් එහෙම නැත්නම් කොළඹ නගරය උතුරේ මුලතිව් සහ කිලිනොච්චි ප‍්‍රදේශ අතර විශාල වෙනසක් සහ පරතරයක් තිබෙනවා.
     
    මේ සංවර්ධනය තුළ අපි දකින්නේ ඒ පරතරය අවම කිරීම. එහෙම නැත්නම් එය ඉවත් කිරීම. එදාට තමයි අපට රටක් වශයෙන් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. රටේ සංවර්ධනය පිළිබඳ දේශපාලන වශයෙන් යම් යම් ක්ෂේත‍්‍ර පිළිබඳ අපි කුමන විදිහේ දේවල් කතා කළත් ප‍්‍රධාන ම දේ තමයි දුගී බව තුරන් කිරීම, දුගීභාවය තුරන් කිරීමේදී දරිද්‍රතාව පිළිබඳ තිබෙන ප‍්‍රශ්නයේදී ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී මේ විදුලියේ තිබෙන බලපෑම ඉතා පුළුල්.විශේෂයෙන් කර්මාන්ත ක්ෂේත‍්‍රයට, ස්වයංරැකියා සඳහා ග‍්‍රාමීය ජනතාවගේ සංවර්ධනයට පුළුල් දායකත්වයක් ශක්තියක් හා මගපෙන්වීමක් විදුලිය ලබාදෙනවා. 
    රටේ සංවර්ධනයේදී නගරයේ දකින දියුණුව, ගමේ දකින්නට ඉතා අත්‍යාවශ්‍ය දේ තමයි විදුලිය. ඒ නිසා මේ ව්‍යාපෘතිය අද දවසේ කාර්යන් සඳහා පමණක් නොවේ දීර්ඝකාලිනව අපේ රටේ සංවර්ධනයට මේ කරන ආයෝජනය තුළ අපට ඉතා ඉහළ ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙනවා.
     
    ආර්ථික වශයෙන්, සමාජයීය වශයෙන්, සංස්කෘතික වශයෙන් සියලු ක්ෂේත‍්‍රවල වර්ධනයට මේ විදුලිය බලපානවා.
     
    ඒ නිසා මේ වැදගත් අවස්ථාවට සහභාගීවීමට මට අවස්ථාව ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙමින් තමුන්නාන්සේලා මේ කරන කාර්යය ඉතාමත් අගය කරනවා.
     
    පාඨලී චම්පික රණවක ඇමතිතුමා මීට පෙර අවුරුදු ගණනාවක් මේ විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මේ ක්ෂේත‍්‍රය ගැන පුළුල් දැනුමක් තිබෙන, අත්දැකීමක් තිබෙන ඇමතිවරයෙක් විදිහට එතුමා ඉතාමත් කාර්යක්ෂම කටයුතු කරනවා. ඒ නායකත්වය තුළ තමුන්නාන්සේලාගේ දැනුම අත්දැකීම් සමඟ මේ රටේ පොදු මහජනතාවට රටේ සංවර්ධනයට මේ ලබාදිය යුතු මහා දායාදය ලබාදෙන්න තව තවත් තමුන්නාසේලා අපි සියලුදෙනාම කැපවෙමු කියලා මම අවසන් වශයෙන් ප‍්‍රකාශ කරනවා" යැයි ද ජනාධිපතිතුමා පැවසීය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya