මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු- මධ්‍යම අධිවේගි මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනම් කරන්නැයි උපදෙස්   Featured

    ජූනි 21, 2020

    උතුරු- මධ්‍යම අධිවේගි මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනම් කරන ලෙස එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන කොන්ත්‍රාත් සමාගම්වලට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.


    උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසි ලෙස ඉටු නොවන බවට ලැබුණු පැමිණිලි මත එම ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා ( 19) සහභාගි වූ අවස්ථාවේදි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    එහිදී අධිවේගි මාර්ගයේ මීරිගම සිට රිලවුලුව කොටසේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරන ICC ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ද අග්‍රාමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.
    උතුරු-මධ්‍යම අධිවේගි මාර්ගයේ ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ කේ. එච්. එම්. ඒ. කේ. කෙහෙල්ඇල්ල මහතා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයට දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් පවසා සිටියේ මංතීරු හතරක් හා අන්තර් හුවමාරු මධ්‍යස්ථාන හයක් සහිතව ඉදිකිරීම් ඇරඹුණ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා මාස 30 ක කොන්ත්‍රාත් කාලයක් ලබාදී ඇති බවයි.


    නිසි පරිදි ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව කොන්ත්‍රාත් ලබාදීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වී ඇති බවත් පැකේජ හතරක් යටතේ දේශීය ඉදිකිරීම් ආයතන සඳහා කොන්ත්‍රාත් ලබා දී ඇති අතර ඉන් සමහරක් ඉදිකිරීම් ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා අග්‍රාමාත්‍යවරයා වෙත සඳහන් කර සිටියේය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් දෙවැනි අදියරට අයත් වන අතර දේශීය ඉදිකිරිම් සමාගම් සදහා මෙම කොටසේ ඉදිකිරීම් භාරදි ඇති අතර ගිවිසුම් ප්‍රකාරව නියමිත කලට මධ්‍යම අධීවේගී මාර්ගයේ ඉදිකිරිම් සිදුව නොමැති බවද ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.

    සමහර ඉදිකිරීම් සමාගම් අත්තිකාරම් මුදලට අදාලව හෝ ඉදිකිරිම් අවසන් කර නැති බවත් දිගින් දිගටම හේතු දක්වමින් ඉදිකිරීම් අවසන් කිරීමේ කාලය දීර්ඝකර ගැනීමට පියවර ගෙන ඇති බවත් ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ කේ. එච්. එම්. ඒ. කේ. කෙහෙල්ඇල්ල මහතා සඳහන් කළේය.

    රිලවුලුව සිට රංගල්ලෙපොල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගමේ ඉදිකිරීම්වල ප්‍රගතිය සියයට 69ක් වන අතර එම කොටසේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී එම කොටසේ ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගමේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දුන්නේය.

    මීරිගම - රිලෝළුව කොටසේ ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගමේ ඉදිකිරිම්වල ප්‍රගතිය සියයට 94ක් ද, රංගල්ලෙපොල - මඩිතියවෙල කොටසේ ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගමේ ඉදිකිරීම්වල ප්‍රගතිය සියයට 81.70ක් ද, මඩිතියවෙල - කුරුණෑගල කොටසේ ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගමේ ඉදිකිරීම්වල ප්‍රගතිය සියයට 91.34ක් ද වන බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා සමහර ඉදිකිරීම් සමාගම් සිය ඉදිකිරීම් අවසන් කිරිමට ආසන්න වුවත්, ඇතැම් සමාගම් වල මන්දගාමී ක්‍රියා පිළිවෙත හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස විවෘත කිරීමට තවත් වසර එකහමාරක පමණ කාලයක් ගත වන බවද ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයාව සිටි සමයේ අධිවේගී මාර්ග සංකල්පය ක්‍රියාවට නැංවූ අතර මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කළ අතර මාස 30ක කොන්ත්‍රාත්තුවක් ලෙස ඇරඹි මෙම අධීවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලසුම් අනුව නියමිත පරිදි අවසන් වූවා නම් 2019 ජුලි මාසය වන විට මෙම අධීවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට හැකියාව තිබුණු බවද ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “ඇතැම් සමාගම් වල වැඩ දුර්වලයි.ඇතැම් සමාගම් හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරලා තිබෙනවා .පසුගිය ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැතුව බංකො‍ළොත් කරපු නිසා ඇතැම් සමාගම් වල ඉදිකිරීම් කටයුතු නැවතිලා තිබෙනවා.ඔවුන්ගේ ව්‍යාපෘති වලට අදාළ මුදල් අපි ලබාදුන් පසුව නැවතත් එම සමාගම් වැඩ ටික පටන් ගනියි.ඒ සම්බන්ධයෙන් අපි කඩිනම් පියවර ගන්නවා.මේ හැම ව්‍යාපෘතියක්ම මම මුල්ගල තියලා ආරම්භ කළේ. පසුගිය ආණ්ඩුවෙන් මේ ව්‍යාපෘතියේ වැඩ පටන් ගත්තා .නමුත් අපේ ආණ්ඩුවක් තිබුණා නම් මේ වෙනකොට අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වල වැඩ අවසන් කරලා ජනතා අයිතියටත් පත් කරලා. පුළුවන් තරම් ඉක්මණින් මෙහි වැඩ අවසන් කරලා ජනතා අයිතියට පත් කරන්න අපි කටයුතු කරනවා.”

    මෙම අවස්ථාවට මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා,උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත් සමාගම් වල නිලධාරීන් ද එක් වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya