අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළැඹිය යුතු නැතැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය අවධාරණය කරති.

    අප්‍රේල් 26, 2020

     විපතේදී ධෛර්යමත්වීම රටක් උගතයුතු පාඩමක් ...  විද්‍යුත් මාධ්‍යය උපයෝගී කර ගනිමින් ජාතික වෙසක් උත්සව සැමරුමට පියවර ...
     විහාරස්ථාන සතු, ප්‍රයෝජනයට නොගත් ඉඩම් සංවර්ධනයට සහය වන්නැයි රජයට ඉල්ලීමක් ...  අවස්ථා දෙකකදී ජනතාව බේරාගත් නායකයෙකු ලෙස ජනපති
    ඉතිහාසයට එක්වන බව මහා සංඝරත්නය පවසති ...  සෑම මසකම තුන්වැනි සිකුරාදා හමුවකට ජනපතිගෙන් මහා සංඝරත්නයට ආරාධනා ...


    කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කළේය.


    කොරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය, ජනතාවට දුන් සහන සහ ඉදිරියේ දී දේශීය ආර්ථිකය ගොඩනැගීමට ගෙන ඇති තීරණ ජනාධිපතිතුමා පැහැදිළි කළේය.
    රට මුහුණ දී ඇති අභියෝග හමුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලු පාර්ශ්වයන් දුන් සහාය අතිමහත් බව ජනාධිපතිතුමා කියා සිටියේය. තමාට විශිෂ්ට ජනවරමක් දෙමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිතුමා අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම විනා පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව නොමැති බව ද පෙන්වා දුන්නේය.


    සෑම මසකම තුන්වැනි සතියේ සිකුරාදා මහා සංඝරත්නය හමුවීමට තමා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇරයුම් කළේය. ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් රුවන්වැලි සෑය අභියසදී මෙන්ම ජනාධිපති ධූරයේ වැඩභාරගනිමින් තමා ප්‍රකාශ කළ පරිදි මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ මගපෙන්වීම ඉතසිතින් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    සමස්ත මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට හිමිවන බව මෙහිදී අදහස් දැක්වූ ත්‍රෛනිකායික නායක හිමිවරු සඳහන් කළහ.

    පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු බවත්, පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මහා සංඝරත්නය අවධාරණය කළහ.


    පැවති පාර්ලිමේන්තුව රටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිවයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පැවසූහ.

    වෛරසය මර්දනයට සහ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කිරීමේ දී නව චින්තනයක් රට තුළ ක්‍රියාත්මක බව දිස් වෙයි. එය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට “සෞභාග්‍යයේ චින්තනය” මැයෙන් එකතුවිය යුතු උප නියැදියක් වශයෙන් ගතයුතු බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද හිමියෝ කියා සිටියහ.


    කොරෝනා වෛරසය මර්දනයේදී ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළෙන් ලොව සෙසු රටවලට ද පාඩමක් උගත හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. රටේ තරුණ පරපුර සහ විවිධ කණ්ඩායම් නව නිර්මාණ රැසක් සිදුකර ඇත. එය ඉදිරි අනාගතයට මග පෙන්වන ස්වර්ණමය අවස්ථාවක් බවත්, ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට මහා සංඝරත්නය නිරන්තරයෙන් ශක්තියක් වන බවත් උන්වහන්සේ සඳහන් කළහ.


    මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මාතෘ භූමිය ආරක්ෂා කරගැනීමට ඉවහල් වන කරුණු 12ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කළහ.
    මෙවර වෙසක් උත්සවය විද්‍යුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් නිවසේ සිට සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වැදගත්කම ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි සහ මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමිවරු පෙන්වා දුන්හ. ඒ සඳහා කමිටුවක් පත් කිරීමට ද තීරණය කෙරිණ.


    යාචක පිරිසට ද උණු බත් කෑමට අවස්ථාව සලසමින් සියලු ජනතාවගේ කුසගින්න නිවීමට ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ග මහා සංඝරත්නයේ ප්‍රශංසාවට නිතැතින්ම ලක්වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පැවසූහ.
    ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya