අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හුණු, දුම්කොළ සහ පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටිය පිළිබඳ ඉල්ලීම ජනපති යළි සිහිගන්වයි

    මාර්තු 02, 2019

    මීට වසර 07 කට පෙර 2012 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හුණු, දුම්කොළ සහ පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටියක් මහා නායක හිමිවරුන්ට පූජා කරමින් තමන් මෙරට සඟ පරපුරෙන් කළ ඉල්ලීම නැවත වතාවක් සමස්ත ගෞරවනීය මහා සංඝරත්නය වෙත සිදු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    දුම්කොළ හා පුවක් ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් අද ශ්‍රී ලංකාව මුඛ පිළිකා පිළිබඳ දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම අභියෝගයෙන් ජාතිය ගලවා ගැනීමට නම් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුව ඇති බව ද කියා සිටියේ ය.

    ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන්  ඊයේ (01) පෙරවරුවේ මහරගම අපේක්ෂා රෝහලේ පැවති වැඩසටහන අමතමිනි.

    දැහැත් වට්ටිය අපගේ බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු ප්‍රධාන උපාංගයක් වුව ද කාලීන අවශ්‍යතාව අනුව එය සෞඛ්‍ය සම්පන්න දැහැත් වට්ටියක් බවට පරිවර්තනය විය යුතු බව මෙහි දී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ ප්‍රධාන වගකීමක් බෞද්ධ ජනතාව වෙත පැවරෙන බවත්, මහා සංඝරත්නයේ මැදිහත්වීමෙන් ඒ පිළිබඳ දැනුමක් සහ අවබෝධයක් දායක කාරකාදීන් වෙත ලබාදීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේ ය.

    සෑම වසරකම මාර්තු මස 20 වන දින ලෝක මුඛ සෞඛ්‍ය දිනය ලෙස ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ‘මුව සුව වෙනුවෙන් නිති සැම එක් වෙමු’ තේමාව යටතේ මෙවර එය සැමරෙන අතර ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව පැවැත්වෙන මුඛ පිළිකා වැළැක්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව මෙලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මුඛ පිළිකාව වර්තමානයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. මුඛ පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස බුලත් විට සැපීම පෙන්වා දී තිබෙන අතර ඒ අනුව මෙම රෝගය වැඩි වශයෙන් පිරිමින් අතර ව්‍යාප්තව පවතී. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල ජනතාව මීට වැඩි වශයෙන් ගොදුරුව සිටින අතර මුඛ පිළිකාව හේතුවෙන් මෙරට දිනකට රෝගින් තිදෙනෙක් පමණ මිය යති.

    මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය ප්‍රතිපත්තිමය කාර්යයක් සේ සලකා ප්‍රමුඛත්වයක් ලබාදීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා බුලත් විට කෑමට ඇබ්බැහි වූ පුද්ගලයන් ඉන් මුදා ගැනීමට උපදේශන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ඇතුළු දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.

    හුණු, දුම්කොළ සහ පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටිය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් මහා සංඝරත්නය වෙත පූජා කෙරිණි.

    මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන මුඛ පිළිකා රෝගින්ගේ සුව දුක් විමසීමට ද අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

    මුඛ පිළිකාවලට ගොදුරුව සුව වූ පිරිසක් එක්ව පිහිටුවා ගත් “නිල් කටරොලුවලට හඬක්” සංවිධානයේ සාමාජිකයන් කිහිපදෙනෙකු විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත සංදේශයක් ද භාරදෙනු ලැබීය.

    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක, විශේෂඥ වෛද්‍ය ජගත් බලවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya