Print this page

ජනපති ජන්ම දිනය වෙනුවෙන් රට පුරා ආගමික වතාවත් රැසක්

සැප්තැම්බර් 03, 2018

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ 67 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

1951 සැප්තැම්බර් 02 වන දින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ආරම්භ වී හෝරා කිහිපයක් ගෙවී ගිය තැන සැප්තැම්බර් 03 වන දින දෛවෝපගත ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපත සිදු විය.

ඒ පල්ලෙවත්ත ගමරාළලාගේ ඇල්බට් සිරිසේන මහතාගේ සහ යාපා අප්පුහාමිලාගේ දෝන නන්දාවති මහත්මියගේ කුළුදුල් පුතණුවන් ලෙසිනි. මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහෝදර සහෝදරියන් 12 දෙනෙකි. එතුමාගේ පියා දෙවන ලෝක යුද සමයේ සකී‍්‍රය හමුදා සේවයේ යෙදුණු නිලධාරියෙකි. මව පාසල් ගුරු මාතාවකි. 1940 දශකයේ අග භාගයේ ඔවුන් සිය පවුලේ සාමාජිකයින් සමග පොළොන්නරුවට පැමිණියේ සේවා මුක්ත හමුදා නිලධාරින් හට ඩී.එස්. සේනානායක රජයෙන් ලබාදුන් ගොවි බිම් අස්වැද්දීමටයි.

සාමාන්‍ය ගොවි පවුලක ඉපදුණු මෛතී‍්‍රපාල සිරිසේනයන් පොළොන්නරුව තෝපා වැව මහ විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පාසල් ශිෂ්‍යයෙකුව සිටියදීම සකී‍්‍රකව කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම එතුමාගේ ජීවිතයේ කැපී පෙනෙන සිදුවීමකි.

වාමාංශික දේශපාලනයෙන් තම දේශපාලන පන්නරය ලැබූ ඔහු 1967 අගෝස්තු මාසයේදී පොළොන්නරුව ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම්වරයා ලෙස දේශපාලනයට අවතීර්ණ වීමේ අත්පොත් තැබීය.

1989 පෙබරවාරි මස 15 වන දින පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 1989 මාර්තු මස 09 වන දින මන්තී‍්‍රවරයෙකු වශයෙන් දිවුරුම් දෙන ලදි.

1989 සිට 1994 දක්වා එක්සත් ජාතික පක්ෂ රජයේ විපක්ෂයේ මන්තී‍්‍රවරයෙකු ලෙස ඉතාමත් කි‍්‍රයාකාරිව දේශපාලනයට සම්බන්ධ වූ ඔහු 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැඩිම මනාප ඡන්ද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරි පත්වීමෙන් පසුව වාර්මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් පුදනු ලැබීය.

1997 දී මහවැලි සංවර්ධන, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබීය. එසේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් තනතුරට පත්වීමට ද වරම් ලැබීය. එසේම වසර 2000 දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ උප සභාපති ධූරයට පත්කරනු ලැබීය.

2001 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරිපත්වූ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරයටද පත් කරනු ලැබීය.

2004 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ සභානායක ලෙස තේරිපත් වූ මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 2005 වර්ෂයේදී කෘෂිකර්ම, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කෙරිණි.2006 වර්ෂයේදී කෘෂිකර්ම, වාරිමාර්ග මහවැලි හා පරිසර අමාත්‍ය ධූරයත් 2007 අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා අමාත්‍ය ධූරයටත් පත්වූ එතුමා වැඩබලන ආරක්ෂක අමත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති අතර 2009 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කළ අවසන් සංග‍්‍රාමය සිදුවන මොහොතේදී ද වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදී.

2010 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසින් පත්කෙරුණු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්විය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට පවරාදීම, කොමිෂන් සභා ශක්තිමත් කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත, මාධ්‍ය නිදහස තහවුරු කිරීම ඇතුළු මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් මෙන්ම මොරගහකන්ද – කළු ගඟ සංවර්ධන යෝජනා ක‍්‍රමය ඇතුළු දැවැන්ත සංවර්ධන වැඩසටහන් රැසක් එතුමාගේ මගපෙන්වීමෙන් ඉකුත් වසර තුන හමාරේ දී රට තුළ කි‍්‍රයාවට නැංවිණි.

පොළොන්නරුව වැනි දුෂ්කර ගම් ප‍්‍රදේශයක කෘෂිකාර්මික ජනතාව අතරින් පත් වූ පළමු ජනාධිපතිවරයා වන මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දේශපාලනය වෙත පෙර කිසිදු පවුල් සබඳතාවයක් නොමැති පොදු ජනතාව අතරින් ගොඩනැගුණු නායකයෙකි. මිත‍්‍රශීලි හා නිහතමානී පුද්ගලයෙකු වන මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි පවත්නා සාම්ප‍්‍රදායික බෞද්ධ සාරධර්ම විදහා දක්වන්නෙකු වන අතර සේවයට විශිෂ්ට කැපවීමත්, ජනතා සේවයත්, සරල දිවි පැවැත්මත් එතුමාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයන්ය.

දශක හතරකට අධික දේශපාලන අත්දැකීම් සමුදායකින් පරිපූර්ණ වූ මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගිය දශකයකට වැඩි කාලයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුව ලැබූ මැතිවරණ ජයග‍්‍රහණය සියල්ලට උර දුන් අපිරිමිත සංවිධාන ශක්තියෙන් ද වූයේය.

මනුෂ්‍යවාදී දෘෂ්ටියෙන් සහ සුපිරිසිදු දේශපාලනයේ ප‍්‍රතිමූර්තියක් බඳු මෛතී‍්‍රපාල සිරිසේනයන් ජනතා අරගලයන්ට නායකත්වය දෙන්නෙකි. යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින්නෙකි. ගොවියා, ගැමියා සහ කම්කරුවා වෙනුවෙන් පෙනී සිටින්නෙකි. මෛතී‍්‍ර පාලනය යනු අවනීතිය වෙනුවට නීතිය රජ කරන, අයුක්තිය වෙනුවට යුක්තිය රජ කරන, අසාධාරණය වෙනුවට සාධාරණය රජ කරන දූෂණය වෙනුවට පාරදෘෂ්‍යභාවය රජ කරන සැබෑ මානව ධර්මතාවන්ට ගරු කරන සංස්කෘතියක සහ සමාජ ක‍්‍රමයක උපත ලෙස හඳුන්වා දිය හැකිය.

මේ අතර කොටුව ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ ඇති බෝධින් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකළ රන් වැට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ විවෘත කෙරිණි.

අදට යෙදී ඇති ජන්ම දිනය වෙනුවෙන් එතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම අලංකාරවත් රන්වැට ඉදිකිරීමට පියවර ගෙන තිබුණි.

එමෙන්ම එම බෝධින් වහන්සේ අභියස නිර්මාණය කෙරුණු අටවිසි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ද අද නිරාවරණය කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

සිය හැට හත්වන ජන්ම දිනය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සැමරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබූ අතර, ඊයේ සහ අද දින ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරමින් දිවයිනේ ප‍්‍රධාන විහාරස්ථාන රැුසක සහ සර්ව ආගමික ස්ථානවලදී ද ආගමික වතාවත් සංවිධානය කර තිබුණි.