Print this page

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

අගෝස්තු 16, 2018
ඕනෑම හදිසි ආපදා තත්ත්වයදී මෙන් ම ආපදා තත්ත්වයන් පිළිබඳ තොරුතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ක්ෂණික දුරකථන අංක 117 අමතන්න යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
 
මධ්‍ය කඳුකරය වෙත ලැබෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් මේ වන විට මධ්‍ය කඳුකරයේ පිහිටි ලක්ෂපාන, මාඔස්සාකැලේ, නෝටන්බ්‍රිජ්, කැනියෝන් ඇතුළු ජලාශ රැසක වාන් විවෘතව ඇති බැවින් පහළ නිම්නයේ කැලණි ගඟ දෙපස ජනතාවට ගංඟා ජල මට්ටම පිළිබඳ ව අවධානයෙන් පසුවන ලෙසත් එම මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලයි.
 
මීට අමතර ව කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් මෙන් ම පස් කඳු කඩා වැටීම් සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සියලු ම ප්‍රදේශවල ජනතාව කාලගුණ තත්ත්වය පිළිබඳ ව අවධානයෙන් පසුවන ලෙසත් අනාරක්ෂිත ගස් ඉවත් කිරීමට මෙන් ම අතු කපා දැමීමට කටයුතු කරන ලෙසත් පෙන්වා දෙයි.
 
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 187කට හානි සිදුව ඇති අතර මෙම තත්ත්වය මහනුවර, මඩකලපුව, යාපනය මෙන් ම අද (16) උදෑසන කොළඹ බම්බලපිටිය ප්‍රදේශය ආශ්‍රිතව ඇති ව තිබේ.
 
තවදුරටත් ක්ෂණික සුළං තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ ව අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.