Print this page

තම වරප‍්‍රසාද මෙන්ම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද වැඩ වර්ජනවල නිරත පිරිස් සිතා බැලිය යුතුයි Featured

අගෝස්තු 10, 2018

තම වරප‍්‍රසාද පිළිබඳ සේම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද වැඩ වර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. වැඩවර්ජනවලින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව නොව රටේ අහිංසක පොදු මහජනතාව බව ජනාධිපතිතුමා කියා සිටියේ, කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවති වැඩසටහනකට ඊයේ (09) පෙරවරුවේ එක් වෙමිනි.

පොදු මගී ප‍්‍රවාහන සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ද භාවිතා කරන්නේ පොහොසතුන් නොව රටේ අහිංසක දුප්පත් ජනතාව බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊයේ සිදුකළ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත නිවෙස් බලා යමින් සිටි දරුවන් ඇතුළු ජනතාවට විඳීමට සිදුවූ පීඩාකාරී තත්ත්වය ද ඉතා කණගාටුවෙන් සිහිපත් කළේය. ගැටලු විසඳා ගැනීමට ඕනෑම අයෙකුට, ඕනෑම අවස්ථාවක රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින බව පැවසූ ජනාධිපතිතුමා පසුගිය රජය මෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වත්මන් රජය කිසිදු අවස්ථාවක තුවක්කු භාවිතා නොකළ බව ද කියා සිටියේය. එබැවින් රටේ අහිංසක පොදු මහජනතාව පීඩාවට පත් නොකර බුද්ධිමත්ව සහ මානුෂීයව සිය ගැටලු විසඳාගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා දුම්රිය, වෛද්‍ය ඇතුළු වැඩවර්ජනවලට සූදානමින් සිටින වෘත්තීය කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේය.

ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව හා ශ‍්‍රී ලංකා යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ඖෂධ පැළ ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන අද පෙරවරුවේ මෙලෙස කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. පුනරුදය දින 60 මෙහෙයුම නමින් නම් කර තිබෙන මෙම වැඩසටහන තුළින් ඖෂධ වර්ග 100 කට වැඩි පැළ ලක්ෂයක් යුද හමුදා කඳවුරු තුළ පළමුව රෝපණය කිරීමට නියමිතය. ආයුර්වේද ඖෂධ සංස්ථාව හරහා එම පැළ ලබාදීම සිදුකරයි. තිරසර සංවර්ධනය කරා යන ගමන් මගේ එක් පියවරක් වශයෙන් මෙම නවමු ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, ජාතියේ පුනරුදය ඇති කිරීම සඳහා රටේ සියලු අංශවල කැපවීම, පරිත්‍යාගය සහ අවංකභාවය අත්‍යාවශ්‍ය බවය.

මේ අතර සියයට 28 ක්ව පවතින මෙරට වන ඝනත්වය සියයට 32 දක්වා ඉහළ නංවා ගැනීමට රජය ඉතා සැලසුම් සහගතව කටයුතු කරන බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළේ දී මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇති බව කියා සිටියේය.

රටේ වන ඝනත්වය ඉහළ නංවා ගැනීම සඳහා මෙන්ම මත්ද්‍රව්‍යවලට එරෙහිව කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළේ ද දැවැන්ත සංග‍්‍රාමයක් ශ‍්‍රී ලංකා ති‍්‍රවිධ හමුදාවේ සහය ඇතිව ඉදිරියේ දී කි‍්‍රයාවට නැංවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

සිරගතව සිටියදීත් බරපතළ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධවන අයට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීන්දුව රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් නිසි ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා මෙහි දී නැවතත් අවධාරණය කළේය.

ව්‍යාපෘතිය ආරම්භ කරමින් ප‍්‍රථම ඖෂධ පැළය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වෙත භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු විය. විහාරමහා දේවි උද්‍යාන පරිශ‍්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අමාත්‍ය රාජිත සේනාරත්න, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ, ශ‍්‍රී ලංකා යුද හමුදා විධායක ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් බුවනක ගුණරත්න යන මහත්වරුන් ඇතුළු යුද හමුදා ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.