අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 ජාතික මව්කිරි දීමේ සතියේ සමරු උත්සවය

    අගෝස්තු 08, 2018
    2018 ජාතික මව්කිරි දීමේ සතිය පසුගිය 01දා සිට 07දා දක්වා ක්‍රියාත්මක වූ අතර ඒ වෙනුවෙන් වූ සමරු උත්සවය ඊයේ (07) පස්වරුවේ දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
     
    මව්කිරි සුවබර දිවියක පදනමයි යන්න මෙවර තේමාව වී තිබූ අතර මෙම අවස්ථාව සඳහා දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හා සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    රට තුළ මව්කිරිදීම ජනතාව අතර තව තවත් ප්‍රචලිත කිරීම සඳහා වසර ගනනාවක සිට මෙවැනි සැමරුම් උළෙලවල් උපයෝගී කරගන්නා බවත් ඒ හරහා දුප්පත්කම දුරලීමට හැකියාව ලැබෙන බවත් මෙහිදී පිළිගැනීමේ කතාව සිදු කරමින් පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය නෙතාංජලී මාපිටිගම මහත්මිය පැවසුවාය.
     
    ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරා රටවල් රැසක් ම අගෝස්තු පළමුවැනි සතිය මව්කිරි දීමේ සතිය වශයෙන් ප්‍රකාශයට පත්කරමින් සැමරුම් කටයුතු සිදු කිරීම හරහා දැනුම්වත් කිරීම් සිදු කරන බවත් ලෝක සෞඛ්‍ය සමුළු සම්මුතියේ දී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ඔවුන් රටවලින් ඉල්ලා සිටින බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම මහත්මිය මෙහිදී මව්කිරි සුවබර දිවියක පදනම මැයෙන් සිය දේශනය සිදු කරමින් ප්‍රකාශ කළාය.
     
    2030 රජයේ තිරසර සංවර්ධන අරමුණු ලඟාකර ගැනීමේ පළමු ඉලක්ක ත්‍රිත්වය සමඟම මව්කිරි ලබාදීම තදින්ම බැඳී පවතින බවත් සජීවි කිරි වර්ගයක් නිසා මව්කිරි හරහා දරුවා සියලු රෝගවලින් ආරක්ෂා විම කෙටි කාලීන වශයෙන් වාසිදායක තත්ත්වයක් බවත් බෝ නොවන රෝගවලින් ආරක්ෂාවීම මෙන් ම බුද්ධ වර්ධනය වැඩිවීම දීර්ඝ කාලීන වශයෙන් ඇතිවන වාසිදායක තත්ත්වයන් බවත් වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
     
    ක්ෂීරපායි සත්ව විශේෂයට අයත් සෑම මවක් ම තම දරුවාට තම සජීවි කිරි ලබාදීමට කටයුතු කරන බවත් මිනිසා හැර අනෙකුත් සියලු සතුන් තමන්ගේ කිරි පමණක් තම දරුවාට ලබාදීමට කටයුතු කරන අතර ම මිනිස් මව පමණක් වෙනත් සතෙකුගේ කිරි තම දරුවා වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බවත් පෙන්වාදුන් සොයිසා කාන්තා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් මහත්මිය පෙන්වාදුන් අතර සියලු දෙනා ක්ෂිරපායි සතුන් වුවද එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් අවශ්‍යතාවයන් පවතින අතර ම මවකගේ කිරි නිෂ්පාදනය වන්නේ තම දරුවාගේ අවශ්‍යතාවයන්ට අනුව යැයි ද පෙන්වා දුන්නාය.
     
    ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 75%කට පමණ හේතුව වී ඇත්තේ බෝ නොවන රෝග බවත් 11%ක් පමණ බෝ වන රෝග මෙන් ම 14%ක් හදිසි අනතුරු හේතුවෙන් මරණයන් සිදුවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් පැවසීය.
     
    ලෝකය පුරා ළමා ප්‍රජාවගෙන් 5%ක පිරිසක් ස්ථූල බවින් පෙළෙන අතර ම මේ තත්ත්වය ආසියාව හා අප්‍රිකාව තුළ වැඩි වශයෙන් දැකිය හැකි බවත් ආදේශකයක් ලෙස කිරිපිටි භාවිත කළ ද කිරි නිෂ්පාදනය වන්නේ ඒ ඒ සතාට ගැළපෙන ආකාරයෙන් බැවින් මව්කිරිවලට ආදේශකයක් ලෙස පිටිකිරි ලබාදිය නොහැකි බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
     
    සෑම සතෙකුටම වෙනස් වර්ධන වේගයක් පවතින බවත් පිටිකිරි නිෂ්පාදනය සඳහා ගවකිරි ලබාගන්නා බැවින් අධික වර්ධන වේගයක් ලැබෙන අතර ම ඒ හරහා අනාගතයේ දී රෝග රැසකට අත වැනීමක් සිදුවන බවත් මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙහිදී 2018 - 2025 වෙනුවෙන් වූ ළමා සෞඛ්‍ය සම්බන්ධ ජාතික උපාය මාර්ගික සැලැස්ම එළිදැක්වීම ද සිදු විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya