අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික ස්ථාන ශක්තිමත් කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් යහපත් පරපුරක් ගොඩනැගීමට බව ජනපති පවසයි.

    අගෝස්තු 03, 2018

    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ආගමික ස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 134 ක්

     

    පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු ආගමික ස්ථාන ශක්තිමත් කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් යහපත් පරපුරක් ගොඩනැගීමට බව පවසන ජනාධිපතිතුමා ජාතික සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ අපේක්ෂාවන් මල්ඵල ගැන්විය හැක්කේ ද ආගමික සංහිඳියාව ගොඩනැගීම තුළින් බව කියා සිටී.

    පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 14.3 ක වියදමින් ලංකාපුර පුලස්තිගම සිරි පැරකුම් පිරිවෙනේ ඉදිකරන ලද දෙමහල් භික්ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට (01) දින පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා තවදුරටත් ප‍්‍රකාශ කළේ භෞතික සම්පත් සංවර්ධනය සේම ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි ද රජය විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන බවයි.

    යහපත් සමාජයක් ගොඩනැගීමේ දී උගත් භික්ෂු පරපුරක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා මහා සංඝරත්නයට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට මෙන්ම දිවයින පුරා සියලු විහාරස්ථාන සංවර්ධනය සඳහා රජය පුළුල් වැඩසටහනක් කි‍්‍රයාවට නංවා තිබෙන බව ද කියා සිටියේය.

    මඩු දේවස්ථානය පූජනීය භූමියක් ලෙස සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර, කතෝලික පූජනීය ස්ථානයක් පූජා භුමියක් ලෙස පුළුල් සංවර්ධනයකට ලක් කෙරෙන ප‍්‍රථම අවස්ථාව මෙය බව ද ජනාධිපතිතුමා පැවසීය.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රතිපාදන මත ලංකාපුර පුලස්තිගම සිරි පැරකුම් පිරිවෙනේ ඉදිකරන ලද වාහල්කඩ සහ වලාකුළු බැම්ම අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    භික්ෂු නේවාසිකාගාරයේ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 15 වන ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කළ අතර එහි අණදෙන නිලධාරි මේජර් පුංචිහේවා මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    විහාරාධිපති පූජ්‍ය හබරණ රතනධම්ම ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ දායක සභාව විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වූහ.

    සෝමාවතී රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ, ශී‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය අට්ටන්ගනේ සාසනරතන ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරතන්ය ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ආගමික ස්ථාන සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 134 කි. දහම් පාසල් ගොඩනැගිලි 20 ක් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 24 ක් වෙන් කර තිබේ.

    පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ දින තුනක් තුළ ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට පවරාදීමේ වැඩසටහන යටතේ ආගමික ස්ථාන රැසක සිදු කෙරුණු සංවර්ධන කටයුතු හෙට සහ අනිද්දා දිනවලදී ද සඟ සතු කොට පූජා කිරීමට නියමිතය.

    මේ අතර හිඟුරක්ගොඩ ජයන්තිපුර චේතියගිරි පුරාණ රජමහා විහාරයේ නවීකරණය කරන ලද ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කිරීම අද සිදු කෙරුනේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ යන මහත්වරුන් අතිනි.

    පොළොන්නරුව, තමන්කඩුව දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය දඬුබැදිරුප්පේ උපනන්ද හිමි, විහාරාධිපති පූජ්‍ය නාරංවිට ධම්මාලෝක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

    හිගුරක්ගොඩ, දොරදෙක ශී‍්‍ර ස්වර්ණතිලකාරාම විහාරස්ථානයේ රුපියල් මිලියන 5.5 ක වියදමින් ඉදිකෙරුණු නව ධර්මශාලාව සඟ සතු කොට පූජා කිරීම බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

    රුපියල් මිලියන 5.26 ක වියදමින් හිඟුරක්ගොඩ පුරාණ රත්මලේ ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු නව සංඝාවාස ගොඩනැගිල්ල අමාත්‍ය වසන්ත සේනානායක සහ රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක යන මහත්වරුන් අතින් විවෘත කිරීම සිදු විය.

    එමෙන්ම රුපියල් මිලියන 3.39 ක වියදමින් හිඟුරක්ගොඩ ජයමහ පිරිවෙනේ ඉදිකෙරුණු භික්ෂු නේවාසිකාගාර පහසුකම් සහිත දෙමහල් ගොඩනැගිල්ල ද අද දින සඟ සතු කොට පූජා කෙරුණේ අමාත්‍ය ලකී ජයවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya