අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිර සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම් තහනම් කරන චක්‍රලේඛය නිකුත් කෙරේ

    ජූලි 31, 2018

    රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිර සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම් තහනම් කරන චක්‍රලේඛය නිකුත් කෙරේ

    මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා/ දෙපාර්තමේන්තු ප්‍රධානියා/ පළාත් ප්‍රධාන ලේකම්වරයා හා මූල්‍ය අංශයේ ප්‍රධානියා විසින් වගකීම දැරිය යුතු යැයි මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අංක 03/2018 හා 2018.07.18 දිනැති චක්‍රලේඛයේ සඳහන්ව ඇත.

    රජයේ ව්‍යවස්ථාපිත ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම භාරගත යුතුයැයි මෑතදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    පළාත් සභා ඇතුළු සියලුම රාජ්‍ය ආයතන විසින් සිය ආයතනවල දැනටමත් එවැනි සේවක පිරිස් ඇත්නම් ඒ පිළිබඳ සළකා බැලීම සඳහා එම සේවක සංඛ්‍යා හා ඔවුන්ගේ පඩි නඩි පිළිබඳ තොරතුරු, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතුයැයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ඒ අනුව, මින් මතුවට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ හා මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතියෙන් තොරව සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවන්නේනම් ඒ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන භාර ලේකම්වරුන්/ ප්‍රධාන ලේකම්වරුන්/ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ ආයතනයන්හි මූල්‍ය ප්‍රධානීන් වගකිව යුතු බවට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya