අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කෙරෙන පදනම කෘෂිකර්මාන්තය බව ජනපති පවසයි

    ජූලි 24, 2018

    පෙර රජ දවස සිට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණේ කෘෂිකර්මාන්තය මත වන අතර, එය අද දවසේ මෙන්ම හෙට දවසේ ද රටේ අනාගතය ශක්තිමත් කරන පදනම බව ජනාධිපතිතුමා පවසයි.

    රටේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මොරගහකන්ද – කළුගඟ මහා සංවර්ධන ව්‍යාපෘතිය සනිටුහන් වනු ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේ මොරගහකන්ද මහා ජලාශයට සමගාමීව ඉදිවන කළු ගඟ ජලාශයේ රන් දියවර රැඳවුම් මංගල්‍යයට සහ දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය වන ඉහළ ඇළහැර ඇළ උමං මාර්ගයේ දෙවන අදියර ඉදිකිරිම් ආරම්භ කිරීමේ අවස්ථාවට  ඊයේ (23) පෙරවරුවේ එක් වෙමිනි.

    අක්කර හය ලක්ෂ හැට දහසකට දියවර සැපයෙන මෙම ජලාශ ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් කෝටි 23,000 කි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද දවසේ ගොවි ජන දුක නිවන මහා වාරි වික‍්‍රමය බවට පත්ව ඇති මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය හෙට දවසේ රටේ ගොවි ආර්ථිකයත්, ජාතික ආර්ථිකයත් හැරවුම් ලක්ෂයක් කරා ගෙන යනු ඇති බවයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන අතර, මෙම ව්‍යාපෘතිය පෙර රජ දවසින් පසු ජාතියේ අනාගතය සහ කෘෂි ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් රට තුළ කි‍්‍රයාත්මක වන යෝධ සංවර්ධන ව්‍යාපෘතිය බව ද ජනාධිපතිතුමා කියා සිිටියේය.

    රජරට ජනතාවගේ කදුළු කතාව නිමා කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමට අද ඒ සඳහා උප්පැන්න ලබාදීමට කතා කරන කිසිවෙකුට එදා වුවමනාවක් නොතිබූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා 2007 වසරේ ඇරඹු ව්‍යාපෘතියට වසර 05 ක් යන තුරු මුදල් ලබාදීමට තබා විදේශ ණය ලබා ගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලේඛනයටවත් එහි නම ඇතුළත් කිරීමට ඔවුන් කටයුතු නොකළ අයුරු ද සිහිපත් කළේය. හැකිනම් එම වාර්තා තමා වෙත ඉදිරිපත් කරන ලෙස එම සියලු දෙනාට තමා ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    වසර 27 ක තම සිහිනය සැබෑ කරමින් මොරගහකන්ද මහා ජලාශයේ රන් දියවර නිකුත් කළ දිනය තම ජීවිතයේ වඩාත්ම සතුටට පත්වූ දිනය බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

    කිසිදු දූෂණයකින්, වංචාවකින් සහ අක‍්‍රමිකතාවයකින් තොරව ව්‍යාපෘතියේ කටයුතු කි‍්‍රයාත්මක වීම පිළිබඳව ද සිය සතුට පළ කළ ජනාධිපතිතුමා මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල ප‍්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ ඉදිරියට ගැටලු මතු වුවහොත් සහ එහිදී දූෂණ වංචා සිදුවන බවට තොරතුරු ඇත්නම් තමාට පුද්ගලිකවම පැමිණිලි කරන ලෙස ද ගොවි ජනතාවට ආරාධනා කළේය.

    ඒ සඳහා විශේෂ දුරකථන අංකයක් සහ ෆැක්ස් අංකයක් සහිත විශේෂ ඒකකයක් ලබන සතියේ සිට මාධ්‍ය ඔස්සේ හදුන්වාදීමට කටයුතු කරන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා එමගින් සියලු පැමිණිලි තමා වෙත ඉදිරිපත් කළ හැකි බවත්, දේශපාලනඥයෙකු, රාජ්‍ය නිලධාරියෙකු හෝ කොන්ත‍්‍රාත් සමාගමක් යම් දූෂණ වංචාවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වුවහොත් එම කිසිවෙකුට තමාගෙන් සමාවක් හිමි නොවන බවත් අවධාරණය කළේය.

    මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන සීමාවෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළු ගඟ ජලාශය නිර්මාණය කෙරේ. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ 248කි. එනම් අක්කර අඩි 200,880 කි. මෙම ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන අතර උස මීටර් 68කි. වේල්ලේ මුදුණත පළල මීටර් 8ක් වේ. මෙහි අනෙකුත් සැඳලි වේල්ල ජලාශයට දකුණු පස ඉදිවන අතර එහි උද මීටර් 28ක් වෙයි. ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කි.මි 128 ක් වන අතර ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 කි.

    මෙම ජලාශයේ රන් දියවර රැුදවුම් මංගල්‍ය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ලග්ගල – කළු ගඟ වේල්ල අභියසදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    වසර 27 ක් පුරා රජරට ජනතාව වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දුටු සිහිනය සැබෑ කෙරෙන මොහොතේ පළමුවෙන්ම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණේ මොරගහකන්ද වේල්ලේ එක් පසෙක කළුගලින් නිම කර තිබෙන අඩි 27 ක් උස අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීමයි.

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා ප‍්‍රථම මල් පූජාව ද සිදු කළේය.

    බුද්ධ ප‍්‍රතිමාවේ භාරකාරිත්වය පූජ්‍ය අලියාවලේ විපුලසාර හිමිපාණන් වහන්සේ වෙත භාරකිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක් කෙරේ. එම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය වන ඉහළ ඇළහැර ඇළ උමං මාර්ගය නිරික්ෂණය කිරීමට ද ජනාධිපතිතුමා එක් විය. කි.මි 96 ක් වන මෙම ඇළ මාර්ගය ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 6700 කි. එහි ඉතිරී කොටසේ ඉදිකිරීම ආරම්භ කිරිම ද සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

    මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීමේ සුවිශේෂි කටයුත්ත ද මෙහිදී සිදු විය. ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ මහතා මෙරට විසු කෘතහස්ත ඉංජිනේරුවකු වන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සම්බන්ධ මූලික ගවේෂණ කටයුතු සිදුකරන ලද්දේ එතුමා සමගිනි. මොරගහකන්ද ජලාශ වේල්ල ඉදිකළ යුතු ස්ථානය එම ගවේෂණ කටයුතුවලදී නිර්ණය කෙරිණ.

    මෙරටට අනන්‍ය වූ තවත් නව තාක්ෂණික ඉදිකිරීම් ක‍්‍රම රැුසක් නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවා සැමරීම පිණිස මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීමට පියවර ගැනිණි.

    මහවැලි මෙහෙවර පුවත් පත ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරු ද, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, ජෝන් අමරතුංග, මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya