අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවන කලාප හඳුනා ගනී

    ජූලි 15, 2018

    ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවන බවට පාසල් සහ ඉදිකිරීම් කළාප හඳුනාගෙන තිබෙන අතර සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පාසල් පවිත්‍ර කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ආශ්‍රිතව සිදු කළ කීට විද්‍යා සමීක්ෂණය පිළිබද විශ්ලේෂණ රැස්වීමක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැතිවිනි.

    2016 පළමු මාස 06 තුළ ඩෙංගු රෝගයට ගොදුරු වූවන් 26,000 ක් සොයාගෙන ඇති අතර, 2018 පළමු මාස 06 තුල එවැනිම රෝගීන් සංඛ්‍යාවක් හමු වී තිබීම නිසා රෝගීන් වාර්තා වීමේ පහළයාමක් දක්නට ඇත. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් අඩුම වශයෙන් රෝගීන් වාර්තා වී තිබේ.

    2017 වසරේ ජුලි මාසයේ රෝගීන් 45,000 ක් පමණ වාර්තා වුවත්, මෙම වසරේ ජුලි මාසයේ ගත වූ කාලය තුල හමු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1309 කි.  2018 වසරේ මේ වනවිට රෝගීන් 27,523 ක් වර්තා වී ඇත.

    පාසල් සහ ඉදිකිරීම් කළාපවල ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවන බවට හඳුනාගෙන ඇත. එම නිසා පාසල් පවිත්‍ර කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ආරම්භ කර ඇත. ඉදිකිරීම් කළාප 4,000 ක් ලංකාව තුළ ඇති බව දැනට හඳුනාගෙන ඇත. එම ඉදිකිරිම් කළාපවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    පාසල්වල අබලි ද්‍රව්‍ය ඉවත් නොකිරීම ද ඩෙංගු රෝගය ව්‍යාප්තවීමට බලපා ඇති බව කීට විද්‍යා සමීක්ෂකයින් මෙහිදි පෙන්වා දුන්හ. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 56 ක් පරීක්ෂා කර ඇති අතර, ඇතැම් පාසල්වල සීමාව සඳහා සිටුවා ඇති උණබට සහ පයිය බටවල ද ඩෙංගු මදුරුවන් බෝවන බව සොයාගෙන තිබේ.  පාසල්වල ඩෙංගු මදුරු මර්දන කමිටු සක්‍රීය කළ යුතු බවට ද මෙහිදී යෝජනා කෙරිනි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ පාසල් රැසක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගත් බව කීට විද්‍යා සමීක්ෂකයින් සඳහන් කළහ. ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා බඳවා ගත් ක්ෂේත්‍ර නිලධාරීන් 1500 සඳහා පුහුණුවක් සහ තවත්  දීමනාවක් ලබාදීමට ද මෙහිදී යෝජනා විය. මදුරු මර්දන කටයුතු සදහා තවත් වාහන 50 ක් ලබාගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණුගම මහතා, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ හසිත තිසේරා මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂිකා රේණුකා පිරීස් මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    මේ අතර ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රොටරි සමාජයේ සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ සහයෝගය ලබාගැනීම සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කරන ලදි. මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya