Print this page

භෞතික සංවර්ධනය සේම අධ්‍යාත්මික සංවර්ධනය ද රටකට එක සේ වැදගත් බව ජනපති පෙන්වා දෙයි

ජූලි 10, 2018

භෞතික වශයෙන් රට තුළ සිදු කෙරෙන පුළුල් සංවර්ධන කාර්යය සේම ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව ඇති කිරීම සඳහා ද පුළුල් වැඩසටහන් අද රටට අවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ආගමික පරිසරයෙන් ඈත්වූ ජනතාව නැවත ආගමික ස්ථාන කරා සමීප කරවමින් කරුණාව, දයාව, මනුෂ්‍යත්වය සමග මනුදම් සුරකින සමාජයක් යළි රට තුළ ගොඩනැගීමට සියලු පාර්ශ්වයන් වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේ පොළොන්නරුව, පුලස්තිගම ශ‍්‍රී ශාන්ති නිකේතනාරාම විහාස්ථානයේ අභිනවයෙන් ඉදිකළ රන්කොත් මහා චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ  පුණ්‍යෝත්සවයට  එක්වෙමිනි.

අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර, අනතුරුව අභිනව චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරීමට අදාළ සමරු පළකය නිරාවරණය කරනු ලැබීය.

අභිනව චෛත්‍ය රාජයාණන්වහන්සේ උදෙසා පළමු පුෂ්පෝපහාරය ද ජනාධිපතිතුමා විසින් සිදු කළේය.

අනතුරුව පැවති උත්සව සභාවේදී, අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ නිර්මාණය සඳහා ධන පරිත්‍යාගය සිදුකළ නිව් රත්න සමූහ ව්‍යාපාරයේ ලංකේෂ්වර මිත‍්‍රපාල මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උතුරු, උතුරු මැද නැගෙනහිර යන පළාත්හි ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ශ‍්‍රී ධම්මානන්ද, අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද, ශ‍්‍රී ශාන්ති නිකේතනාරාමාධිපති පූජ්‍ය දොඩම්වල ධම්මරතන යන නායක ස්වාමින්වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

මේ අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන “නිල සෙවණ” ව්‍යාපෘතියට සමගාමීව පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ, ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 133 ග‍්‍රාම නිලධාරි වසමේ අල්හිලාල්පුර “නිල සෙවණ” සේවා මධ්‍යස්ථාන සහ 142 ග‍්‍රාම නිලධාරි වසමේ කෑගලුගම “නිල සෙවණ” සේවා මධ්‍යස්ථානය අද පස්වරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරෙන අතර ග‍්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි කාර්යාල කටයුතු වෙනුවෙන් ඉදිකෙරෙන මෙම එක් සේවා මධ්‍යස්ථානයක් සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 20 කි.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කය තුළ ඉදිකෙරුණු තවත් “නිල සෙවණ” සේවා මධ්‍යස්ථාන 05 ක් මේ හා සමගාමීව ඊයේ සහ අද දින විවෘත කිරීම සිදුවිය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ සිසිර කොඩිකාර, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.